ශු. යොහන් 4:1-14

ශු. යොහන් 4:1-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යේසුස්වහන්සේ යොහන්ට වඩා ගෝලයින් දිනා බව්තීස්ම කරතියි පරිසිවරුන්ට සැල විය. (එහෙත් ඇත්තෙන් ම බව්තීස්ම කළෝ යේසුස්වහන්සේ නො ව ගෝලයෝ ය.) උන්වහන්සේ ඒ වග දැන, යුදයෙන් පිට වී, යළි ගලීලයට ගිය සේක. ඒ ගමන යා යුතු වූයේ සමාරිය මැදිනි. යාකොබ් සිය පුත් යෝසෙප්ට දුන් බිම් කොටස අසල පිහිටි සිකාර් නම් සමාරි නගරයට උන්වහන්සේ පැමිණි සේක. යාකොබ්ගේ ළිඳ එහි විය; ගමනින් විඩාවට පත් ව සිටි යේසුස්වහන්සේ ළිඳ අසල හිඳගත් සේක. ඒ හය වන පැය පමණ විය. සමාරියේ ස්ත්‍රියක් දිය අදින්නට එහි ආවා ය. ඈ ඇමතූ යේසුස්වහන්සේ, “මට බොන්නට දෙන්නැ” යි කී සේක. උන්වහන්සේගේ ගෝලයෝ කෑම ගෙනෙන්නට කඩ මණ්ඩියට ගොස් සිටියහ. එවිට සමාරීය ස්ත්‍රිය, “යුදෙව්වකු වූ ඔබ, සමාරීය ළඳක් වන මගෙන් වතුර ඉල්ලන්නේ කොහොම දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවා ය. (ඒ, එකල යුදෙව්වරුන්, සමාරියයන් හා ඇයි-හොඳයියක් නො පැවැත් වූ බැවිනි.) යේසුස්වහන්සේ ඇය අමතමින්, “දෙවියන්වහන්සේ ඔබට පිළිගන්වන දීමනාව කුමක් ද කියාත්, ඔබෙන් දිය ඉල්ලන්නේ කවුරුන් ද කියාත් ඔබ දැන සිටියා නම්, ඔහුගෙන් ඉල්ලන්නේ ඔබයි. එවිට ඔහු ඔබට ජීවන දිය දෙන්නට තිබුණා” යි කී සේක. එකල ඈ, “මහත්මයා, කෝ! දිය අදින්නට කිසිවක් ඔබට නැහැ; ළිඳත් ගැඹුරුයි; ඒ ජීවන දිය ඔබ ලබා ගන්නේ කොහෙන් ද? අපේ ආදි පියා වූ යාකොබ්ටත් වඩා ඔබ ශ්‍රේෂ්ඨ ද? මේ ළිඳ අපට දුන්නේ ඔහුයි; ඔහුත් මෙයින් බීවා; ඔහුගේ පුත්‍රයිනුත්, ගව, එළු, බැටළු රංචුත් මෙයින් බීවා” යි කීවා ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ වතුර බොන හැම කෙනකුට නැවත පිපාස දැනේ; එනමුත්, මා දෙන දිය බොන කෙනකුට නැවත පිපාසය ඇති නො වේ. මා දෙන දිය බොන ඇත්තන් තුළ සදාතන ජීවන උල්පත් මැවෙන්නේ යැ” යි පැවසූ සේක.

ශු. යොහන් 4:1-14 Sinhala Revised Old Version (SROV)

එබැවින් (යේසුස්වහන්සේගේ ගෝලයන් මිස උන්වහන්සේම බව්තීස්ම නොකළ නුමුත්) උන්වහන්සේ යොහන්ට වඩා ගෝලයන් සාදාගෙන බව්තීස්මකරනසේකැයි ඵරිසිවරුන්ට ආරංචිවූ බව ස්වාමීන්වහන්සේ දැනගත් කල, යුදය අත්හැර නැවත ගලීලයට ගියසේක. උන්වහන්සේ සමාරිය මැදින් යන්ට ඕනෑ බැවින්, යාකොබ් තමාගේ පුත්‍රවූ යෝසෙප්ට දුන් බිම් කොටස ළඟ තිබෙන සිඛාර් නම් සමාරියේ නුවරකට පැමිණිසේක. එහි යාකොබ්ගේ ළිඳ තිබුණේය. යේසුස්වහන්සේ ගමනින් වෙහෙසව සිටිසේක්, ඒ ආකාරයෙන්ම ළිඳ ළඟ හිඳගත්සේක. ඒ හවෙනි පැය පමණ විය. සමාරියේ ස්ත්‍රියෙක් වතුර අදින්ට ආවාය. මට බොන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඈට කීසේක. මක්නිසාද උන්වහන්සේගේ ගෝලයෝ කෑම මිලේට ගන්ට නුවරට ගොස් සිටියෝය. එවිට සමාරිය ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: යුදෙව් කෙනෙක්වූ ඔබ සමාරිය ස්ත්‍රියෙක්වු මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමදැයි කීවාය. (මක්නිසාද සමාරියය‍න් සමඟ යුදව්වන්ගේ ගනුදෙනුවක් නැත.) යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක. ස්ත්‍රීද: ස්වාමිනි, වතුර අදින්ට භාජනයක් ඔබට නැත, ළිඳත් ගැඹුරුය. එබැවින් ඒ ජීවනදායක වතුර ඔබට කොයින්ද? ළිඳ අපට දුන් අපේ පියවූ යාකොබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුද ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ සිවුපාවෝද මෙයින් බීවෝයයි උන්වහන්සේට කීවාය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මේ වතුර බොන හැමදෙනාට නැවත පිපාසාවන්නේය. නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.

ශු. යොහන් 4:1-14 Sinhala New Revised Version (NRSV)

ජේසුස් වහන්සේ ජොහන්ට වඩා ශ්‍රාවකයන් බඳවාගෙන බව්තීස්ම-ස්නාපනය කරති යි පරිසිවරුන්ට සැළ විය. (ඇත්ත වශයෙන් උන් වහන්සේගේ ශ්‍රාවකයන් මිස, උන් වහන්සේ ම බව්තීස්ම-ස්නාපනය නොකළ සේක.) ඒ බව දැනගත් කල, සමිඳාණන් වහන්සේ ජුදයෙන් පිට වී යළිත් ගලීලයට වැඩම කළ සේක. සමාරිය පසු කොට යා යුතු ව තිබුණු බැවින් උන් වහන්සේ, ජාකොබ් තම පුත් ජෝසෙප්ට දුන් ඉඩම ළඟ වූ සිකාර් නම් සමාරියේ නගරයකට පැමිණි සේක. ජාකොබ්ගේ ළිඳ එහි විය. ගමන් විඩාවෙන් සිටි උන් වහන්සේ ළිඳ ළඟ හිඳගත් සේක. එය මධ්‍යාහ්න වේලාව පමණ විය. එකල, සමාරීය ස්ත්‍රියක් වතුර අදිනු පිණිස පැමිණියා ය. “මට වතුර ටිකක් දෙන්නැ”යි උන් වහන්සේ ඇයට වදාළ සේක. එවේලේ, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කෑම මිලයට ගනු පිණිස, නගරයට ගොස් සිටියෝ ය. සමාරීය ස්ත්‍රිය ද, “ජුදෙව්වෙකු වන ඔබ, සමාරීය ස්ත්‍රියක වන මගෙන් බොන්නට ඉල්ලන්නේ, කෙසේ දැ”යි උන් වහන්සේගෙන් ඇසුවා ය. එසේ කීවේ, ජුදෙව්වරුන් හා සමාරියයන් අතර ගනුදෙනුවක් නුවූ බැවිනි. ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේගේ දීමනාවත්, ‘මට වතුර ටිකක් දෙන්නැ’යි ඔබට කියන්නේ කවරෙක් ද කියාත් ඔබ දැන සිටියෙහි නම්, ඔබ ඔහුගෙන් ඉල්ලනු ඇත; එවිට ඔහු ජීවන ජලය ඔබට දෙනු ඇතැ”යි වදාළ සේක. ස්ත්‍රිය ද, “මහතාණෙනි, වතුර අදින්නට ඔබට භාජනයක් නැත; ළිඳත් ගැඹුරු ය; එබැවින් ඒ ජීවන ජලය ඔබට කොයින් ද? මේ ළිඳ අපට දුන්නේ අපේ පියා වන ජාකොබ් ය. ඔහු ද, ඔහුගේ පුත්‍රයෝ ද ගවයෝ ද මෙයින් පානය කළෝ ය. ඔබ ඔහුට වඩා උතුම් දැ?”යි විචාළා ය. ජේසුස් වහන්සේ ඇයට පිළිතුරු දෙමින්, “මේ වතුර බොන හැම කෙනෙකුට ම නැවත පිපාසය ඇති වන්නේ ය. එහෙත් මා දෙන වතුර බොන කවර කෙනෙකුට වුවත් කිසි කලෙක පිපාසය ඇති නොවන්නේ ය. මා ඔහුට දෙන වතුර සදාතන ජීවනය පිණිස ඔහු තුළ දිය උල්පතක් වන්නේ ය”යි වදාළ සේක.

ශු. යොහන් 4:1-14 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. යොහන් 4:1-14 New International Version (NIV)

Now Jesus learned that the Pharisees had heard that he was gaining and baptizing more disciples than John— although in fact it was not Jesus who baptized, but his disciples. So he left Judea and went back once more to Galilee. Now he had to go through Samaria. So he came to a town in Samaria called Sychar, near the plot of ground Jacob had given to his son Joseph. Jacob’s well was there, and Jesus, tired as he was from the journey, sat down by the well. It was about noon. When a Samaritan woman came to draw water, Jesus said to her, “Will you give me a drink?” (His disciples had gone into the town to buy food.) The Samaritan woman said to him, “You are a Jew and I am a Samaritan woman. How can you ask me for a drink?” (For Jews do not associate with Samaritans.) Jesus answered her, “If you knew the gift of God and who it is that asks you for a drink, you would have asked him and he would have given you living water.” “Sir,” the woman said, “you have nothing to draw with and the well is deep. Where can you get this living water? Are you greater than our father Jacob, who gave us the well and drank from it himself, as did also his sons and his livestock?” Jesus answered, “Everyone who drinks this water will be thirsty again, but whoever drinks the water I give them will never thirst. Indeed, the water I give them will become in them a spring of water welling up to eternal life.”