යාකොබ් 3:2-10

යාකොබ් 3:2-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මන්ද අප සැවොම නොයෙක් අයුරින් පැකිළෙන්නෙමු. යමෙක් තමා කතා කරන වචනයෙන් නො පැකිළේ නම්, ඔහු තමන්ගේ මුළු සිරුර ම මැඩපවත්වා ගැනීමට සමත් පිරිපුන් මිනිසෙකි. අශ්වයින් අපට අවනත කර ගැනීමට උන්ට කටකලියා දැමූ කල, මුළුමනින් උන් පාලනය කිරීමට අපට හැකි වෙයි. නැව් දිහා බලන්න; ඒවා කෙතරම් විශාල වුවත්, සැඩ සුළඟකින් ගසා ගෙන යතත්, කුඩා සුක්කානමක් මගින් නැව්පතියා රිසි ඕනෑ ම දිසාවකට හරවා පැදවිය හැකි ය. එසේ ම දිව කුඩා අවයවයකි. එහෙත් එය මහා පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොතරම් මහා වනයක් ගිනි අවුළා ද? දිව ගින්නකි. අධර්මිෂ්ඨකමේ ලෝකයකි. දිව අපේ අවයව අතර පිහිටා සිටිමින්, මුළු සිරුරේ ම ලප-පැල්ලම් ඇති කොට, මුළු මහත් ජීවිතයට ම ගිනි තබයි; එය ගිනි අවුළුවා ගන්නේ නිරයෙන් ම ය. සෑම වර්ගයක මෘගයකු, පක්ෂියකු, උරගයකු හා මුහුදු සත්වයකු දමනය කරන්ට මිනිසාට පුළුවන; දමනය කරනු ලැබ ඇත. එහෙත් දිව දමනය කරන්නට හැකි මිනිසකු නැත. එය මරණීය විසෙන් පිරුණු කලබලකාරී නපුරකි. එයින් අපේ ස්වාමින්වහන්සේ හා පියාණන්වහන්සේට ප්‍රශංසා කරන අපි, එයින් ම දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් මවනු ලැබූ මිනිසාට ශාප කරන්නෙමු. එක ම මුවින් ප්‍රශංසාවත්, ශාපයත් නික්මෙයි. මා සහෝදරයිනි, මේ නම් නො විය යුත්තකි.

යාකොබ් 3:2-10 Sinhala Revised Old Version (SROV)

මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය. අශ්වයන් අපට කීකරුකරගන්න පිණිස උන්ගේ කටවල කටකලියා දැමුවාම අපි උන්ගේ මුළු ශරීරයත් හරවාගනිමුව. මෙන්න, නැව් එපමණ මහත් නුමුත්, තද හුළංවලින් ගෙනයනු ලබන නුමුත්, ඉතා කුඩා සුක්කානමකින් එය අල්ලන්නා විසින් කැමති අතට හරවනු ලබයි. එලෙසම දිව කුඩා අවයවයක් නුමුත් ලොකුවට පාරට්ටුකරයි. කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් පත්තුවෙනවා නොවේද? දිවද ගින්නක්ය. එය අපේ අවයවයන් අතරේ අධර්මමිෂ්ඨකමේ ලෝකයක්ය. ඒක මුළු ශරීරය කිලුටුකොට, සකල ලෝකයට ගිනි අවුලවයි, ඒකට ගිනි ඇවිලෙන්නේ නිරයෙන්ය. එසේය, සියලු ආකාර වන මෘගයෝද පක්ෂීහුද බඩගායන ජාතීන් හා මුහුදේ සත්වයෝද මනුෂ්‍යයන් විසින් දමනයකරනු ලබති, දමනයකරනු ලැබුවෝය. නුමුත් දිව දමනයකරන්ට කිසි මනුෂ්‍යයෙකුට නුපුළුවන. ඒක කැරළිකාරවූ, මරණීය විෂයෙන් පූර්ණවූ, නපුරු දෙයක්ය. එයින් ස්වාමිවූ පියාණන්වහන්සේට අපි ප්‍රශංසාකරමුව; එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වය ලෙස මවනලද මනුෂ්‍යයන්ට අපි ශාපකරමුව. ප්‍රශංසාවත් ශාපයත් එක මුඛයෙන් නික්මෙන්නේය. මාගේ සහෝදරයෙනි, මේ කාරණා මෙසේ වීම යුතු නැත.

යාකොබ් 3:2-10 Sinhala New Revised Version (NRSV)

අපි සියල්ලෝ ම බොහෝ විට වරදට වැටෙමු. යමෙක් වචනයෙන් වරදක් නොකරන්නේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්නට සමත්, සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙකි. අශ්වයන් කීකරු කරගන්නා පිණිස උන්ට කටකලියා දැමූ විට අපි උන්ගේ මුළු ශරීරය ම දමනය කරගනිමු. නැව් ගැන සිතන්න, නැවක් කෙතරම් විශාල වුව ද, සැඬ සුළඟට ගසාගෙන යන විට, ඉතා කුඩා සුක්කානමකින් නැව්පතියා එය තමා රිසි සේ හරවාගෙන යයි. එලෙස ම දිව කුඩා අවයවයක් වුව ද එය ලොකුවට පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොපමණ මහත් ළැව් ගින්නක් හටගනී ද? දිව ද ගින්නකි. එය අපේ ඉඳුරන් අතර, අදමිටුකමින් පිරුණු ලෝකයකි. එය මුළු ශරීරය දූෂණය කොට, නිරා ගින්නෙන් සකල ලෝකයට ගිනි දල්වයි. සියලු ආකාර වන මෘගයන් ද කුරුල්ලන් ද උරග ජාතීන් ද මුහුදු සතුන් ද පෙර මෙන් දැනුත්, මිනිසාට දමනය කළ හැකි ය. එහෙත් දිව දමනය කිරීම කිසිවෙකුට නුපුළුවන. එය හික්මවිය නොහැකි විෂඝෝර නපුරු ඉන්ද්‍රියයකි. එයින් අපි ස්වාමීන් වන පියාණන් වහන්සේ පසසමු; එයින් ම දිව්‍ය සමානත්වයෙන් මවන ලද මනුෂ්‍යයන්ට සාප කරමු. ප්‍රශංසාවත් සාපයත් එක ම මුඛයෙන් නික්මෙයි. මාගේ සහෝදරයෙනි, මෙසේ වීම හරි නැත.

යාකොබ් 3:2-10 Sinhala New Revised Version 2018 (SNRV)