යෙසායා 59:14-17

යෙසායා 59:14-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් යුක්තිය, ආපස්සට හරවනු ලැබ ඇත. දමිටුකම, ඇත්තේ දුරස්ථ ව ය. අවංකකමට, එහි ඇතුළු විය නො හැකි ලෙස සත්‍යය පොදු පිට්ටනිවල පැකිළෙයි. සත්‍යය ඇත්තේ ම නැත. දුෂ්ටකමින් වළකින කවරකු වුව, කොල්ලයක් වෙයි. ස්වාමින්වහන්සේ බැලූ සේක. යුක්තිය එහි නො වූ බැවින් උන්වහන්සේ නො සතුටු වූ සේක. කිසිවකු එහි නො වූ වග උන්වහන්සේ දුටු සේක. මැදිහත් වන්නට කිසිවකු නො වූ බැවින් උන්වහන්සේ මවිත වූ සේක. එබැවින් උන්වහන්සේගේ බාහුව උන්වහන්සේට ගැලවීම ගෙනාවේ ය. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, උන්වහන්සේ ඉසිලී ය. උන්වහන්සේ තම ධර්මිෂ්ඨකම ළය වැස්ම වශයෙන් පැලඳි සේක්, ගැලවීමේ ආරක්ෂක හිස් වැස්ම තම හිසේ ලා ගත් සේක. උන්වහන්සේ පළිගැනීමේ ඇඳුම් ඇඟ ලා, පිට කබායක් සේ උද්වේගය ඇඟ ලා ගත් සේක.

යෙසායා 59:14-17 Sinhala Revised Old Version (SROV)

යුක්තිය පස්සට හරවාදමනු ලැබීය. ධර්මිෂ්ඨකමද දුරින් තිබේ. මක්නිසාද සැබෑකම වීථියේ වැටුණේය, අවංකකමට ඇතුල්වෙන්ට බැරිය. එසේය, සැබෑකම ඇත්තේ නැත; නපුරෙන් පහවන්නාද කොල්ලයක් වන්නේය. ස්වාමීන්වහන්සේ ඒ දැක යුක්තිය නැති බැවින් අප්‍රසන්නවූසේක. උන්වහන්සේද කිසිවෙක් නැති බව දැක, මැදහත්කාරයෙක් නැති බැවින් පුදුමවූසේක. ඒ නිසා උන්වහන්සේගේම බාහුව තමන්වහන්සේට ගැළවීම ගෙනායේය; උන්වහන්සේගේම ධර්මිෂ්ඨකම උන්වහන්සේව ඉසුලුවේය. උන්වහන්සේ යුද්ධ සැට්ටයක් කොට ධර්මිෂ්ඨකමද තමන් හිසේ ගැළවීම නැමති තොප්පියද පැළඳගත්සේක; තවද ඇඳුම පිණිස පළිගැනීම නැමති වස්ත්‍ර පැළඳගෙන, ජ්වලිතකම සළුවක්කොට පෙරවාගන සිටිසේක.