උත්පත්ති 4:4-7

උත්පත්ති 4:4-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එහෙත් ආබෙල් තම රංචුවේ කුලුඳුලන්ගෙන් හා උන්ගේ හොඳ ම කොටස්වලින් තම පඬුර ගෙනාවේ ය. ස්වාමින්වහන්සේ ආබෙල් ද ඔහුගේ පඬුර ද දෙස ප්‍රසාදයෙන් බැලූ සේක. එහෙත් කායින් ද ඔහුගේ පඬුර ද දෙස උන්වහන්සේ ප්‍රසාදයෙන් බැලුවේ නැත. එබැවින් කායින් තදින් කිපිණ. ඔහුගේ මුහුණ නො සතුටු විණ. එවිට කායින් ඇමතූ ස්වාමින්වහන්සේ “නුඹ කිපී සිටින්නේ මන්ද? නුඹේ මුහුණ නො සතුටු ව තිබෙන්නේ මන්ද? හරි දේ කරන්නේ නම්, නුඹත් නො පිළිගැනේ ද? එහෙත් නුඹ හරි දේ නො කරන කල, පාපය දොරකඩ ලැග, මාන බලමින් සිටී. එහි ආශාව නුඹ අල්ලා ගැනීමයි. එහෙත් නුඹ එය දමනය කළ යුතු යැ” යි පැවසූ සේක.

උත්පත්ති 4:4-7 Sinhala New Revised Version 2018 (SNRV)

ආබෙල් ද සිය බැටළු රැළේ කුලුඳුල් පැටවුන්ගෙන් සමහරෙකු ද ඔවුන්ගේ හොඳ ම කොටස් ද ගෙන සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. සමිඳාණන් වහන්සේ ද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක. එහෙත්, උන් වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොපිළිගත් සේක. එබැවින් කායින් තදින් කිපී, දුර්මුඛ විය. සමිඳාණන් වහන්සේ ද කායින්ට කතා කොට, “නුඹ මෙතරම් කිපී, දුර්මුඛ වී සිටින්නේ මන් ද? නුඹ යහපත කරන්නෙහි නම් නුඹ පිළිගනු ලබන්නෙහි ය. නුඹ අයහපත කරන්නෙහි නම් පාපය රකුසෙකු සේ නුඹේ දොරකඩ ලැග සිටින්නේ ය. ඌ නුඹ මැඩලීමට බලාගෙන සිටියි; එහෙත්, නුඹට ඌ දමනය කළ හැකි ය”යි වදාළ සේක.