උත්පත්ති 37:1-25

උත්පත්ති 37:1-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යාකොබ්, තම පියා නැවතී සිටි දේශය වන කානාන් දේශයේ වාසය කළේ ය. යාකොබ්ගේ පරපුර පිළිබඳ තොරතුරු මෙසේ ය. දහහත් හැවිරිදි තරුණයකු වූ යෝසෙප් තම සහෝදරයින් සමඟ, තම පියාගේ භාර්යාවන් වූ බිල්හාගේත්, සිල්පාගේත් පුතුන් සමඟ එළු බැටළු රංචු බලා ගත්තේ ය. ඔහු ඔවුන් ගැන නරක වාර්තාවක්, තම පියා වෙත ගෙනාවේ ය. ඉශ්‍රායෙල් තමාගේ අන් හැම පුතකුටත් වඩා යෝසෙප්ට ප්‍රේම කළේ ය. ඒ, තමාගේ මහලු වයසේ උපන් පුත්‍රයා ඔහු බැවිනි. එබැවින් ඔහු නා නා වර්ණ කබායක් ඔහුට සාදවා දුන්නේ ය. තම පියා තමන් කවරකුටත් වඩා යෝසෙප්ට ප්‍රේම කරන වග දුටු ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළෝ, එක් වචනයකුදු කාරුණික ව ඔහුට කතා කිරීමට අපොහොසත් වූහ. යෝසෙප් සිහිනයක් දුටුවේ ය. ඔහු තම සහෝදරයින්ට එය පැවසූ කල, ඔවුහු වඩ වඩාත් ඔහුට වෛර කරන්නට වූහ. ඔහු ඔවුන් අමතමින්, “මේ අහන්න! මා දුටු සිහිනය මෙයයි: අපි කෙතේ ගොයම් මිටි බඳිමින් හිටියා. මෙන්න! එකපාරට ම මගේ ගොයම් මිටිය නැගිට, කෙළින් අතට සිටගත්තා. එවිට ඔබේ ගොයම් මිටි, මගේ මිටිය වටේට රැස් වී, ඊට වැඳ වැටුණා යැ” යි පැවසී ය. එවිට ඔහුගේ සහෝදරයෝ කතා කරමින්, “සැබවින් ම අපට රජකම් කරන්න ද කල්පනාව? ඇත්තෙන් ම අප පාලනය කරන්න ද යන්නේ?” යි කීහ. ඔහුගේ සිහින නිසාත්, ඔහුගේ වචන නිසාත් ඔවුහු වඩ වඩාත් ඔහුට වෛර බඳින්නට වූහ. පසුව, ඔහු තවත් සිහිනයක් දුටුවේ ය. ඔහු එය ද තම සහෝදරයින්ට කීවේ ය. “මේ අහන්න. මා තවත් සිහිනයක් දැක්කා. මෙන්න, හිරුත්, සඳුත්, තරු එකොළහකුත් මට වැඳ වැටුණා” යි කී ය. ඔහු තම සහෝදරයින්ට මෙන් ම තම පියාටත් එය කී කල, ඔහුගේ පියා ඔහුට තරවටු කරමින්, “මොකක් ද මේ නුඹ දුටු සිහිනය? මාත්, නුඹේ මවත්, නුඹේ සහෝදරයනුත් ඇත්තට ම නුඹ ඉදිරියේ බිම වැටී වඳිනවා දැ?” යි ඇසී ය. ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කරන්නට වූහ. එහෙත් ඔහුගේ පියා එය සිත්හි තබා ගත්තේ ය. ඔහුගේ සහෝදරයෝ තම පියාගේ එළු බැටළු රංචු තණ කවන පිණිස ෂෙකෙම් අසල පෙදෙසට ගියහ. ඉශ්‍රායෙල් යෝසෙප්ට කතා කොට, “ඔබේ සහෝදරයින් ෂෙකෙම් අසල පෙදෙසේ එළු බැටළු රංචු තණ කවනවා නො වේ ද? එන්න! මා ඔවුන් වෙතට නුඹ යවනවා” යි කීවේ ය. “මම සූදානම් යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එබැවින් ඔහු, “දැන් ගොසින්, ඔබේ සහෝදරයින්ගේ සුව දුක් බලා, එළු බැටළු රංචුත් කෙසේදැයි බලා, ආපසු ඇවිත්, මට තොරතුරු දන්වන්නැ” යි කීවේ ය. මෙසේ ඔහු හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු පිටත් කර යැවී ය. යෝසෙප් ෂෙකෙම් වෙත පැමිණියේ ය. ඔහු එහි තැන්නේ ඒ මේ අත ඇවිදිනු දුටු එක් මිනිහෙක් ඔහු අමතමින්, “මොනවද ඔබ සොයන්නේ?” යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “මා සොයන්නේ මගේ සහෝදරයින්. ඔවුන් කොතැනක රංචුවලට තණ කවනවා ද කියා ඔබට කිව හැකි දැ?” යි ඇසී ය. ඒ මිනිසා පිළිතුරු දෙමින්, “ඔවුන් මෙහෙන් පිටත් ව ගියා. ‘අපි දොතාන් බලා යමු’ යි ඔවුන් කියනවා මට ඇසුණා” යි කීවේ ය. එබැවින් යෝසෙප් තම සහෝදරයින් ගිය දෙසට ගියේ ය. දොතාන් අසලදී ඔහුට ඔවුන් හමු විය. එහෙත් ඈතදීම ඔහු එනු දුටු ඔවුහු, තමන් අසලට ඔහු එන්නටත් පෙර, ඔහු මරා දැමීමට කුමන්ත්‍රණ කළහ. ඔවුහු එකිනෙකා අමතමින්, “මෙන්න එනවා ස්වප්නකාරයා! දැන් වරෙල්ලා, ඔහු මරා, මේ වළක දමා, වන මෘගයකු ඔහු කා දැමුවා යැයි කියමු. එවිට, ඔහුගේ ස්වප්නවලට කුමක් වේ දැයි බලමු” යි කතිකා කර ගත්හ. එහෙත් රූබෙන් ඒ ඇසූ කල, ඔවුන් අතින් ඔහු බේරා ගැනීමට තැත් දරමින්, “ඔහුගේ ජීවිතයට හානියක් නො කර සිටිමු. ලේ වගුරු වන්න එපා. මේ පාළුකරයේ මේ වළට ඔහු තල්ලු කරපල්ලා. ඒත්, ඔහුගේ ජීවිතයට අත නො තියල්ලා” යි කීවේ ය. රූබෙන් එසේ කීවේ පසුව මොවුන් අතින් ඔහු මුදා, තම පියා වෙත ඔහු ආපසු ගෙන යෑමේ අටියෙනි. මෙසේ යෝසෙප් තම සොහොයුරන් වෙත ආ කල්හි, ඔහු ඇඟ ලා සිටි වර්ණවත් කබාය ඇද, ගැලවූ ඔවුහු ඔහු අල්ලා, එහි වූ වළට තල්ලු කළහ. ඒ වළ පාළු එකකි; එහි වතුර නො වී ය. ඉන්පසු ඔවුහු කෑමට හිඳ ගත්හ. තවද ඔවුහු නෙත් ඔසවා බැලූ කල, ගිලියාද්හි සිට එන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටුවහ. තවලමේ ඔටුවන් පිට සුවඳලාටු, සුවඳ ඔසු ආලේපන හා කට්ටකුමංජල් පටවා තිබිණි. ඔවුහු ඒවා ඊජිප්තුව වෙත ගෙන යමින් සිටියහ.

උත්පත්ති 37:1-25 Sinhala Revised Old Version (SROV)

යාකොබ් තමාගේ පියා පොරොත්තුව විසූ දේශය වූ කානාන් දේශයෙහි වාසය කෙළේය. යාකොබ්ගේ පරම්පරාවල් මේය. දහහත් අවුරුදු වයස්වූ යෝසෙප් තමාගේ සහෝදරයන් සමඟ බැටළු රැළ පෝෂණය කරමින් සිටියේය; ඔහු වනාහි තම පියාගේ භාර්යාවන්වූ බිල්හාගේද ශිල්පාගේද පුත්‍රයන් සමඟ සිටි තරුණයෙකි. යෝසෙප් ඇවිත් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන ඔවුන්ගේ පියාට දැන්නුවේය. යෝසෙප් ඉශ්‍රායෙල්ගේ වෘද්ධ වයසේ පුත්‍රයා බැවින් ඔහු තමාගේ සියලු පුත්‍රයන්ට වඩා ඔහුට ආදරයවූයේ, අත් ඇති දිග වස්ත්‍රයක් ඔහුට සාදාදුන්නේය. ඔහුගේ සියලු සහෝදරයන්ට වඩා තමන්ගේ පියා ඔහුට ආදරය ඇති බව ඔහුගේ සහෝදරයෝ දැක ඔහු කෙරෙහි වෛරව ඔහු සමඟ සමාදානයෙන් කථාකරන්ට නොහැකිවූවෝය. යෝසෙප් ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කීවේය. ඔව්හු ඔහු කෙරෙහි වඩ වඩා වෛර වූවෝය. ඔහුද: මා දුටු මේ ස්වප්නය අසන්න; අපි කෙතෙහි ගොයම් මිටි බඳිමින් සිටියෙමු, බලව, මාගේ ගොයම් මිටිය නැගිට කෙළින් සිටියේය; බලව, නුඹලාගේ ගොයම් මිටි වටකොට ඇවිත් මාගේ ගොයම් මිටියට වැන්දෝයයි කීය. එවිට ඔහුගේ සහෝදරයෝ: සැබවින් නුඹ අප කෙරෙහි රජකම්කරන්නෙහිද? නොහොත් සැබවින් අප ආණ්ඩුකරන්නෙහිදැයි ඔහුට කියමින් ඔහුගේ ස්වප්නද වචනද නිසා ඔහු කෙරෙහි වඩ වඩා වෛරවූවෝය. ඔහු තව ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කියනුයේ: බලව, මම තවත් ස්වප්නයක් දුටිමි. ඉරද සඳද තාරකා එකොළසක්ද මට වැන්දෝයයි කීවේය. ඔහු ඒක තමාගේ පියාටත් සහෝදරයන්ටත් කීවිට ඔහුගේ පියා ඔහුට තරවටුකොට: නුඹ දුටු මේ ස්වප්නය කිමෙක්ද? මමත් නුඹේ මෑණියෝත් සහෝදරයොත් සැබවින්ම නුඹ ඉදිරියෙහි බිමට නැමී වඳින්නෙමුදැයි ඔහුට කීවේය. ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යාකළෝය; නුමුත් ඔහුගේ පියා ඒ කීම සිතේ තබාගත්තේය. ඔහුගේ සහෝදරයෝ තමන් පියාගේ රැළ පෝෂණයකරන පිණිස ෂෙඛෙම්ට ගියෝය. ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: නුඹේ සහෝදරයෝ ෂෙඛෙම්හි රැළ කවන්නාහු නොවෙද්ද? එන්න, නුඹ ඔවුන් ළඟට හරින්නෙමියි කීවේය. ඔහු: යන්නෙමියි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: නුඹ ගොස් නුඹේ සහෝදරයොත් රැළත් සුවසේ සිටිද්ද කියා බලා ඇවිත් මට දන්වන්නැයි ඔහුට කීය. මෙසේ කියා හෙතෙම හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු හැරියේය. ඔහු ෂෙඛෙම්ට පැමුණුණේය. බලව, ඔහු කෙතෙහි එහා මෙහා යනවා එක්තරා මනුෂ්‍යයෙක් දැක: කුමක් සොයන්නෙහිදැයි ඔහුගෙන් ඇසීය. ඔහුද: මාගේ සහෝදරයන් සොයමි. ඔවුන් රැළ කවන්නේ කොතනද කියා මට කියන්නැයි කීවේය. ඒ මනුෂ්‍යයා: ඔව්හු මෙතැනින් පිටත්ව ගියෝය. මක්නිසාද දොතාන්ට යමුයයි ඔවුන් කියනවා මට ඇසුණේයයි කීය. යෝසෙප් තමාගේ සහෝදරයන් සොයා ගියේය, ඔව්හු දොතාන්හිදී ඔහුට සම්බවුණෝය. ඔව්හු දුරදීම ඔහු දැක ඔහු මරණ පිණිස ඔහු ළඟට එන්ට මත්තෙන් මන්ත්‍රණය කරගත්තෝය. ඔව්හු ඔවුනොවුන්ට කථාකොට: අන්න ස්වප්නකාරයා එන්නේය. දැන් එන්න, ඔහු මරා වළක දමා චණ්ඩ මෘගයෙක් ඔහු කෑවේයයි කියමුව. එවිට ඔහුගේ ස්වප්නවලට කුමක් වන්නේදැයි බලමුයයි කීවෝය. රූබෙන් ඒ අසා ඔවුන් අතින් ඔහු මුදා: අපි ඔහුගේ ප්‍රාණය හානි නොකරමුයයි කීය. රූබෙන් ඔහු ඔවුන්ගේ අත්වලින් මුදා ඔහුගේ පියාට නැවත භාරදෙන අදහසින් ඔවුන්ට කථාකොට: ලේ නොවගුරුවා වනයෙහි තිබෙන මේ වළේ ඔහු දමන්න; එහෙත් ඔහු පිට අත් හෙළන්ට එපායයි කීය. යෝසෙප් තමාගේ සහෝදරයන් වෙතට ආකල ඔවුන් යෝසෙප්ගේ සළුව, එනම් ඔහු ඇඳලා තිබුණු අත් ඇති දිග වස්ත්‍රය ගළවාගෙන ඔහු අරන් වළේ දැමුවෝය. ඒ වළ වතුර නැතුව හිස්ව තිබුණේය. ඔව්හු කෑම කන පිණිස හිඳ තමන් ඇස් ඔසවා බැලූ විට, සුගන්ධ ද්‍රව්‍යද ගුගුල්ද සුවඳලාටුද ඔටුවන් පිට පටවා, ඒවා මිසරයට ගෙනයන පිණිස ගමන්කරන්නාවූ ඉෂ්මායෙල්වරුන් කණ්ඩායමක් ගිලියාද්හි සිට එනවා දුටුවෝය.

උත්පත්ති 37:1-25 Sinhala New Revised Version (NRSV)

තමාගේ පියා තාවකාලික ව නැවතී සිටි රට වන කානාන් දේශයේ ජාකොබ් පදිංචි විය. ජාකොබ්ගේ පෙළපත් කතාව මේ ය. ජෝසෙප්ට වයස අවුරුදු දාහතක් වූ විට, ඔහු තම සහෝදරයන් සමඟ බැටළුවන්ට තණ කවමින් සිටියේ ය. ඔහු සිටියේ තම පියාගේ භාර්යාවන් වන බිල්හාගේ ද, ශිල්පාගේ ද පුත්‍රයන් සමඟ ය. ජෝසෙප් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන පියාට දැන්වුයේ ය. ඉශ්රායෙල් තම දරුවන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කෙළේ ය. මන්ද, ඔහු තම මහලු වියේ ලත් පුත්‍රයා බැවිනි. ඒ නිසා ඔහු ජෝසෙප්ට අත් ඇති, දිග විශේෂ ඇඳුමක් සාදා දුනි. ඔවුන්ගේ පියා, ඔවුන් සියල්ලන්ට ම වඩා ජෝසෙප්ට ප්‍රේම කරන බව දැක ඔහුගේ සහෝදරයෝ ඔහුට වෛර කළහ. එබැවින් ඔහු සමඟ මිත්‍ර ලීලාවෙන් කතා කිරීමට ඔවුන්ට නොහැකි විය. ජෝසෙප් සිහිනයක් දැක, තම සොහොයුරන්ට එය කීවේ ය. ඒ නිසා ඔව්හු ඔහුට වඩ වඩාත් වෛර කරන්නට වන්හ. ඔහු ද ඔවුන්ට කතා කොට, “කරුණාකර, මා දුටු සිහිනයට ඇහුම්කන් දෙන්න. මෙන්න, අපි කෙතෙහි ගොයම් මිටි බඳිමින් සිටියෙමු. එවිට, පුදුමයකි, මාගේ ගොයම් මිටිය නැඟිට කෙළින් සිටියේ ය. ඔබ හැමගේ ගොයම් මිටි, එය වටේට සිටගෙන, මාගේ ගොයම් මිටියට නැමී ආචාර කෙළේ ය”යි කීවේ ය. එවිට ඔහුගේ සහෝදරයෝ, “ඇත්තට ම ඔබ අප කෙරෙහි රජකම් කරන්නට යන්නෙහි ද? සැබැවින් ම ඔබ අප කෙරෙහි අධිපති බලය පාන්න යන්නෙහි දැ”යි ඇසූ හ. එබැවින් ඔව්හු මේ සිහින නිසාත්, ඔහුගේ කියුම් නිසාත් ඔහුට තව තවත් වෛර කළහ. තවද, ඔහු තවත් සිහිනයක් දැක, එය ද තම සොහොයුරන්ට දන්වමින්, “මේ අහන්න, මම තවත් සිහිනයක් දිටිමි. පුදුමයකි, ඉර, හඳ හා තාරකා එකොළහක් මට නැමී ආචාර කෙළේ ය”යි කී ය. තවද, ජෝසෙප් තම පියාටත්, තම සහෝදරයන්ටත් එය දැන්වී ය. එවිට ඔහුගේ පියා ඔහුට බැණ වදිමින්, “නුඹ දුටු මේ සිහිනයේ තේරුම කුමක් ද? ඇත්තට ම, නුඹේ අම්මාත්, නුඹේ සහෝදරයෝත්, මමත් බිමට නැමී නුඹට ආචාර කරන්ට එන්නෙමු දැ”යි ඇසී ය. ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කළහ. එහෙත් ඔහුගේ පියා, ඔහු කියූ කරුණ සිතේ තබාගත්තේ ය. ඔහුගේ සහෝදරයෝ ද තම පියාගේ එළු බැටළු පට්ටි බලාගනු පිණිස ෂෙකෙම් නම් පෙදෙසට ගියහ. එවිට ඉශ්රායෙල් ජෝසෙප්ට කතා කරමින්, “නුඹේ සහෝදරයන් ෂෙකෙම්හි එළු බැටළු පට්ටි බලාගන්නවා නොවේ ද? එන්න, මම නුඹ ඔවුන් වෙත යවමි”යි කී විට, ජෝසෙප් ද, “මම ලෑස්ති ය” කියා උත්තර දුනි. ඔහුගේ පියා තවදුරටත් කතා කරමින්, “කරුණාකර, යන්න, නුඹේ සහෝදරයොත් එළු බැටළුවොත් සුව සේ සිටිත් දැ යි බලාගෙන ඇවිත් මට දන්වන්නැ”යි කී ය. මෙසේ කියා ඔහු හෙබ්‍රොන් නම් මිටියාවතින් ජෝසෙප් පිටත් කර හැරියේ ය. ජෝසෙප් ෂෙකෙම් පෙදෙසට පැමිණ, එහි තැනින් තැන යන විට, එක්තරා මිනිසෙකුට ඔහු හමු වී, “ඔබ කුමක් සොයන්නෙහි දැ”යි ඒ මිනිසා ඔහුගෙන් විචාළේ ය. ඔහු ද කතා කොට, “මම මාගේ සොහොයුරන් සොයමි. ඔවුන් බැටළුවන්ට තණ කවන්නේ කොහේ ද කියා කරුණාකර මට කියන්නැ”යි උත්තර දුන්නේ ය. එවිට ඒ මිනිසා, “ඔබේ සහෝදරයන් මෙතැනින් යන්න ඇත. ‘අපි දොතාන් නම් පෙදෙසට යමු’යි ඔවුන් කියනු මට ඇසිණි”යි කීවේ ය. එවිට ජෝසෙප් තම සොහොයුරන් සොයා යන විට, දොතාන්හි දී ඔව්හු ඔහුට හමු වූ හ. ඔහුගේ සහෝදරයෝ ඔහු දුර සිට දුටු හැටියේ ම, ඔවුන් වෙත එන්නටත් පෙර, ඔහු මරාදැමීමට කුමන්ත්‍රණය කළහ. ඔව්හු එකිනෙකා අමතමින්, “ඔය එන්නේ ස්වප්නකාරයා. දැන් ඉතින් වරෙල්ලා, අපි ඔහු මරා වළකට දමා, ‘මොකෙක් හරි නපුරු වන සතෙක් ඔහු කාදැමුවේ ය’යි කියමු. එවිට ඔහුගේ සිහිනවලට සිදුවන දේ බලමු”යි කතා කරගත්හ. රූබන් ඒ අසා, ඔවුන් අතින් ඔහු මුදාගැනීමට බලමින්, “අපි ඔහුගේ ජීවිතයට හානියක් නොකරමු”යි කී ය. තවදුරටත් ඔහු ඔවුන්ට කතා කොට, “ලේ බිඳක් නොහළා, පාළු තැන්නේ ඇති මේ වළට අපි ඔහු විසිකර දමමු. ඔහුට නම් අත නොතබන්නැ”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ ඔවුන්ගෙන් ඔහු බේරාගෙන, තම පියාට නැවත ඔහු මුදා දෙන පිණිස ය. ජෝසෙප් තම සොහොයුරන් වෙත පැමිණි විට ඔව්හු ඔහුගේ ඇඳුම, අත් ඇති, දිග, විශේෂ ඇඳුම ගලවාදමා, ඔහු රැගෙන වළකට දැමූ හ. ඒ වළ ද වතුර නැති හිස් එකක් විය. ඉන්පසු ඔව්හු ආහාර අනුභව කිරීමට වාඩි වී, හිස ඔසවා බලන්නාහු ගිලියද්හි සිට මිසරයට ගෙන යන පිණිස කුළු බඩු ද සුවඳ ද්‍රව්‍ය සහ දුම්මල ද ඔටුවන් පිට පටවාගෙන යන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටහ.

උත්පත්ති 37:1-25 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 37:1-25 New International Version (NIV)

Jacob lived in the land where his father had stayed, the land of Canaan. This is the account of Jacob’s family line. Joseph, a young man of seventeen, was tending the flocks with his brothers, the sons of Bilhah and the sons of Zilpah, his father’s wives, and he brought their father a bad report about them. Now Israel loved Joseph more than any of his other sons, because he had been born to him in his old age; and he made an ornate robe for him. When his brothers saw that their father loved him more than any of them, they hated him and could not speak a kind word to him. Joseph had a dream, and when he told it to his brothers, they hated him all the more. He said to them, “Listen to this dream I had: We were binding sheaves of grain out in the field when suddenly my sheaf rose and stood upright, while your sheaves gathered around mine and bowed down to it.” His brothers said to him, “Do you intend to reign over us? Will you actually rule us?” And they hated him all the more because of his dream and what he had said. Then he had another dream, and he told it to his brothers. “Listen,” he said, “I had another dream, and this time the sun and moon and eleven stars were bowing down to me.” When he told his father as well as his brothers, his father rebuked him and said, “What is this dream you had? Will your mother and I and your brothers actually come and bow down to the ground before you?” His brothers were jealous of him, but his father kept the matter in mind. Now his brothers had gone to graze their father’s flocks near Shechem, and Israel said to Joseph, “As you know, your brothers are grazing the flocks near Shechem. Come, I am going to send you to them.” “Very well,” he replied. So he said to him, “Go and see if all is well with your brothers and with the flocks, and bring word back to me.” Then he sent him off from the Valley of Hebron. When Joseph arrived at Shechem, a man found him wandering around in the fields and asked him, “What are you looking for?” He replied, “I’m looking for my brothers. Can you tell me where they are grazing their flocks?” “They have moved on from here,” the man answered. “I heard them say, ‘Let’s go to Dothan.’ ” So Joseph went after his brothers and found them near Dothan. But they saw him in the distance, and before he reached them, they plotted to kill him. “Here comes that dreamer!” they said to each other. “Come now, let’s kill him and throw him into one of these cisterns and say that a ferocious animal devoured him. Then we’ll see what comes of his dreams.” When Reuben heard this, he tried to rescue him from their hands. “Let’s not take his life,” he said. “Don’t shed any blood. Throw him into this cistern here in the wilderness, but don’t lay a hand on him.” Reuben said this to rescue him from them and take him back to his father. So when Joseph came to his brothers, they stripped him of his robe—the ornate robe he was wearing— and they took him and threw him into the cistern. The cistern was empty; there was no water in it. As they sat down to eat their meal, they looked up and saw a caravan of Ishmaelites coming from Gilead. Their camels were loaded with spices, balm and myrrh, and they were on their way to take them down to Egypt.