උත්පත්ති 3:1-9

උත්පත්ති 3:1-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ සාදා තිබූ කවර වන සතකුටත් වඩා සර්පයා ප්‍රයෝගකාරී විය; ඌ ස්ත්‍රිය අමතමින්, “ ‘උයනේ ඇති කිසි ගසකින් ඔබ නො කෑ යුතු ය’ කියා දෙවියන්වහන්සේ සැබවින් ම කී සේක් දැ?” යි ඇසී ය. ස්ත්‍රිය සර්පයාට පිළිතුරු දෙන්නී, “උයනේ ඇති ගස්වල පල කන්නට අපට පුළුවන. එහෙත් දෙවියන්වහන්සේ කීවේ, ‘උයන මැද ඇති ගහේ පල ඔබ නො කෑ යුතු ය; එය ස්පර්ශ නො කළ යුතු ය. නැතහොත් ඔබ මිය යනු ඇත’ කියා යැ” යි පැවසුවා ය. “සැබවින් ම ඔබ මැරෙන්නේ නැතැ” යි පැවසූ සර්පයා, “එයින් කන දවසේ ඔබේ ඇස් ඇරී, හොඳ හා නරක දැනගැනීමෙන් ඔබත් දෙවියන්වහන්සේ හා සමාන වන වග දෙවියන්වහන්සේ දන්නා සේකැ” යි ද පැවසී ය. ගහේ පල කෑමට හොඳ බැව් ද ඇසට ප්‍රිය බැව් ද නුවණ ලැබීමට ආශා විය යුතු බැව් ද දුටු ස්ත්‍රිය, එයින් ගෙන කෑවා ය. තමා සමඟ සිටි තම ස්වාමිපුරුෂයාට ද ඈ ඒවා දුන්නා ය; ඔහු ද කෑවේ ය. එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් ඇරිණි. තමන්ගේ නග්න බව ඔවුන්ට වැටහිණි. එනිසා අත්තික්කා කොළ එකට මසා ගත් ඔවුහු තමනට ඉණ වැසුම් සාදා ගත්හ. දවසේ සිහිල් වේලෙහි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසිණි. එවිට මනුෂ්‍යයාත්, ඔහුගේ භාර්යාවත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වෙතින් උයනේ ගස් අතරේ සැඟවුණහ. එහෙත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට කතා කරමින්, “කෝ! ඔබ කොහේ දැ?” යි ඇසූ සේක.

උත්පත්ති 3:1-9 Sinhala Revised Old Version (SROV)

සර්පයා වනාහි ස්වාමිවූ දෙවියන්වහන්සේ සෑදූ වනයේ කවර සත්වයෙකුටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද: ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන්වහන්සේ කීවාදැයි ස්ත්‍රියගෙන් ඇසීය. ස්ත්‍රීද: උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන; එහෙත් දෙවියන්වහන්සේ–නුඹලා නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අතගසන්ටවත් එපායයි කීසේකැයි සර්පයාට කීවාය. සර්පයාද: නුඹලා ඇත්තටම නසින්නේ නැත; මක්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන්වහන්සේ දන්නාසේකැයි ස්ත්‍රීට කීය. ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය; ඈ තමා සමඟ සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය. එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී තමන් නග්නව සිටින බව ඔව්හු දැනගත්තෝය; ඔව්හු අත්තික්කා කොළ මහා තමන්ට ඉණවැසුම් සාදාගත්තෝය. ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට හඬගසමින්: නුඹ කොහේදැයි ඔහුට කීසේක.

උත්පත්ති 3:1-9 Sinhala New Revised Version (NRSV)

දෙවි සමිඳාණන් වහන්සේ මැවූ වනයේ සියලු සතුන්ට වඩා සර්පයා උපායෙහි දක්ෂ විය. ඌ ස්ත්‍රියට කතා කොට, “උයනේ කිසි ම ගහක ගෙඩි කන්නට එපා කියා දෙවියන් වහන්සේ කළ තහනම ඇත්ත දැ”යි ඇසී ය. ස්ත්‍රිය සර්පයාට උත්තර දෙමින්, “උයනේ ඕනෑ ම ගහක ගෙඩි කන්නට අපට අවසර ඇත. එහෙත්, උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්නටත්, ඒවාට අත ගසන්නටත් දෙවියන් වහන්සේ අපට තහනම් කර ඇත. එසේ කළොත් අප මැරෙනවාම ය”යි කීවා ය. එවිට සර්පයා පිළිතුරු දෙමින්, “සැබැවින් ම ඔබ මැරෙන්නේ නැත. ඔබ ඒ ගසේ ගෙඩි කන දවසේ දී ඔබ‍‍ගේ ඇස් පෑදී, දෙවියන් හා සමාන වී, ඔබත් හොඳ-නරක අවබෝධ කරගන්න බව දෙවියන් වහන්සේ දන්න නිසා එසේ වදාළ සේකැ”යි කී ය. ස්ත්‍රිය ද ගස පෙනුමට කෙතරම් රමණීය ද පල කෙතරම් ප්‍රණීත ද නුවණ වැඩුමට කෙතරම් කදිම ද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවා ය. තමා සමඟ සිටි සිය සැමියාට ද ඉන් සමහරක් දුන් විට ඔහු ද කෑවේ ය. එවිට ඔවුන් දෙදෙනාගේ ම ඇස් පෑදී තමන් නග්න ව සිටි බව ඔව්හු තේරුම්ගත්හ. එබැවින් ඔව්හු අත්තික්කා කොළ එකට මසා ඉණ වැසුම් සාදාගත්හ. ඉක්බිති එදින සිසිල් සුළං හමන සැඳෑ සමයෙහි දෙවි සමිඳාණන් වහන්සේ උයනේ සක්මන් කරන හඬ ඔවුන්ට ඇසී, මිනිසා හා ඔහුගේ භාර්යාව උයනේ ගස් අතර උන් වහන්සේගෙන් සැඟවුණාහ. එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, “නුඹ කොහේ දැ”යි ඇසූ සේක.

උත්පත්ති 3:1-9 Sinhala New Revised Version 2018 (SNRV)