උත්පත්ති 2:9-19

උත්පත්ති 2:9-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, දැකීමට ප්‍රිය වූත්, අහරට සුදුසු වූත් සියලු ගස් වැල් පොළොවෙන් හට ගැන් වූ සේක. උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ හා නරක නිශ්චය කිරීමේ ගස ද විය. උයන සරු කරනට ඒදන් සිට ගංගාවක් ගලා ගොස්, එතැන් පටන් හතර අතකට බෙදී ගියේ ය. පළමුවැන්නේ නම පීෂොන් ය. රත්රන් ඇති මුළු හවීලා දේශය වටා ගලා යන්නේ එයයි. ඒ දේශයේ රත්රන් හොඳ ය. දුර්ලභ සුවඳ දුම්මල ද ගෝමේද මැණික් ද එහි වෙයි. දෙවැනි ගංගාවේ නම ගීහොන් ය. මුළු කූෂ් දේශය වටා එය ගලා බසී. තෙවැනි ගංගාවේ නම ටයිග්‍රිස් ය. අසිරියා දේශයේ පෙරදිග ඔස්සේ ගලා යන්නේ එයයි. හතරවැන්න යුප්‍රටීස් ගංගාවයි. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ගෙන, ඒදන් උයන වගා කිරීමටත්, එය බලා ගැනීමටත් ඔහු එහි පදිංචි කර වූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින්, “උයනේ ඕනෑ ම ගසකින් නිදහසේ කෑමට ඔබට පුළුවන. එහෙත් හොඳ හා නරක නිශ්චය කිරීමේ ගසින් ඔබ නො කෑ යුතු ය. එයින් කෑ දවසේ ඒකාන්තයෙන් ම ඔබ නසිනු ඇතැ” යි කී සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කතා කොට, “මනුෂ්‍යයා තනි ව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියක සාදා දෙන්නෙමි” යි කී සේක. එකල ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ භූමියෙන් නිමවා තිබූ සියලු වන සතුන් ද අහස්හි සියලු පක්ෂීන් ද මනුෂ්‍යයා කෙසේ උන් නම් කරන්නේදැයි බලනු පිණිස, මනුෂ්‍යයා වෙත උන් ගෙන ආ සේක. මනුෂ්‍යයා කවර නමකින් ඒ ඒ සජීවී සතුන් ඇමතුවේ ද, ඒවා උන්ගේ නාම බවට පත් විය.

උත්පත්ති 2:9-19 Sinhala Revised Old Version (SROV)

දැකීමට ප්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියෙන් හටගැන්වූසේක. උයන තෙමන පිණිස ඒදනෙන් ගංගාවක් නික්ම ගියාය; එය එතැනින් බෙදී ගංගා සතරක් විය. පළමුවෙනි ගංගාවේ නම පීෂොන්ය; එය නම් රත්රන් ඇති මුළු හවීලා දේශය වටේට ගලායන එකය; ඒ දේශයේ රත්රන් හොඳය. බෙදොලඃද වෛදූර්යද එහි ඇත්තේය. දෙවෙනි ගංගාවේ නම ගීහොන්ය; මුළු කුෂ් දේශය වටේට වැටී තිබෙන්නේ ඒකය. තුන්වෙනි ගංගාවේ නම හිද්දෙකෙල්ය; අෂුර් දේශය ඉස්සරහින් ගලායන්නේ ඒකය. සතරවෙනි ගංගාව ප්‍රාත්ය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචිකෙරෙවූසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥාකරමින්: නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක. ‍ ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි කීසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවූසේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ.

උත්පත්ති 2:9-19 Sinhala New Revised Version (NRSV)

තවද, උන් වහන්සේ දැකුම්කලු, ප්‍රණීත පලදෙන සියලු ගස් ද උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ-නරක අවබෝධ කිරීමේ ගස ද භූමියෙන් හටගන්නට සැලැසූ සේක. උයනට ජලය සැපයීම සඳහා ඒදන් ප්‍රදේශයෙන් ගඟක් ගලා ගියේය. උයනින් පිටත දී එය අතු ගංගා සතරකට බෙදිණි. පළමු වන අතු ගංගාවේ නම පිෂොන් ය; මුළු හවීලා පෙදෙස වටා ගලා යන ගංගාව එය වේ; ඒ පෙදෙසෙහි රත්රන් ඇත. එහි ඇති රත්රන් අමිශ්‍ර ය; ගන්ධරස හා නඛමාණික්‍ය ද එහි ඇත. දෙ වන අතු ගංගාවේ නම ගීහොන් ය; එය මුළු කූෂ් ප්‍රදේශය වටා ගලා යයි. තෙ වන අතු ගංගාවේ නම ටයිග්‍රීස් ය; එය අෂුර් දේශයට පෙරදිගින් ගලා බසියි. සතර වන අතු ගංගාව යුප්‍රටීස් ය. ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක. තවද, උන් වහන්සේ මිනිසාට අණ කරමින්, “උයනේ සියලු ම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත. එහෙත්, හොඳ-නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතු ය; නුඹ යම් දවසක ඒ ගසින් කන්නෙහි ද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්ත ය”යි වදාළ සේක. පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය.

උත්පත්ති 2:9-19 Sinhala New Revised Version 2018 (SNRV)

තවද, උන් වහන්සේ දැකුම්කලු, ප්‍රණීත පල දෙන සියලු ගස් ද උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ-නරක අවබෝධ කිරීමේ ගස ද භූමියෙන් හටගන්නට සැලැසූ සේක. උයනට ජලය සැපයීම සඳහා ඒදන් ප්‍රදේශයෙන් ගඟක් ගලා ගියේය. එතැනින් එය අතු ගංගා සතරකට බෙදිණි. පළමු වන අතු ගංගාවේ නම පිෂොන් ය; මුළු හවීලා පෙදෙස වටා ගලා යන ගංගාව එය වේ; ඒ පෙදෙසෙහි රත්රන් ඇත. එහි ඇති රත්රන් අමිශ්‍ර ය; ගන්ධරස හා නඛමාණික්‍ය ද එහි ඇත. දෙ වන අතු ගංගාවේ නම ගීහොන් ය; එය මුළු කූෂ් ප්‍රදේශය වටා ගලා යයි. තෙ වන අතු ගංගාවේ නම ටයිග්‍රීස් ය; එය අෂුර් දේශයට පෙරදිගින් ගලා බසියි. සතර වන අතු ගංගාව යුප්‍රටීස් ය. ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක. තවද, උන් වහන්සේ මිනිසාට අණ කරමින්, “උයනේ සියලු ම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත. එහෙත්, හොඳ-නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතු ය; නුඹ යම් දවසක ඒ ගසින් කන්නෙහි ද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්ත ය”යි වදාළ සේක. පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය.