උත්පත්ති 2:1-5

උත්පත්ති 2:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෙසේ අහසත්, පොළොවත් එහි මුළු සේනාවත් සම්පූර්ණ කරන ලදී. හත් වන දවස වන විට දෙවියන්වහන්සේ තමන් කළ කාර්යය නිම කොට තිබූ සේක්, තමන් කළ සියලු කටයුතුවලින් උන්වහන්සේ හත් වන දවසේ විවේක ගත් සේක. මෙසේ දෙවියන්වහන්සේ තමන් කරන ලද මැවීමේ සියලු කටයුතුවලින් හත් වන දවසේ විවේක ගත් බැවින්, උන්වහන්සේ ඒ දවසට ආශිර්වාද කොට, එය ශුද්ධ යයි නියම කළ සේක. අහස් හා පොළොව මවනු ලැබූ කල්හි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පොළොව හා අහස් තැනූ කාලයේ ඒවායේ පරම්පරා පුවත මෙසේ ය. කිසි ශාක-පඳුරක් තවම පොළොවේ නො තිබිණ. යම් පැළෑටියකුදු හටගෙන නො තිබිණි. මන්ද ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පොළොවට වැසි එවා තිබුණේ නැති බැවිනි. භූමිය වගා කිරීමට කිසි මනුෂ්‍යයකු ද නො වී ය.

උත්පත්ති 2:1-5 Sinhala Revised Old Version (SROV)

මෙසේ අහසත් පොළොවත් එහි මුළු සේනාවත් මවා නිමවනලද්දේය. දෙවියන්වහන්සේ තමන් විසින් කළ ස්වකීය කර්මාන්තය සත්වෙනි දවසේ නිමකළසේක. උන්වහන්සේ තමන් විසින් කරනලද සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත්සේක. දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොවත් අහසත් සෑදූ දවසෙහි, ඒවා මවනලද කාලයෙහි, අහසෙත් පොළොවෙත් මුල් ප්‍රවෘත්තිය මේය. ඒ තාක් කල් වනයේ කිසි ගසක් පොළොවෙහි නොතිබුණේය, වනයේ කිසි පලා ජාතියක්ද හටනොගත්තේය. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොව පිට වර්ෂාව නොවස්වා තිබුණු නිසාය. භූමිය වගාකරන පිණිස මනුෂ්‍යයෙක්ද නොසිටියේය.