උත්පත්ති 11:1-26

උත්පත්ති 11:1-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තවද, සකල ලෝ වැසි ජනයා භාවිත කළේ එක ම භාෂාවකි. එක ම වචන මාලාවකි. ඔවුහු පෙරදිගට සංක්‍රමණ වෙද්දී ෂිනාර් දේශයේ තැනිතලාවක් හමුව, එහි පදිංචි වූහ. ඔවුහු එකිනෙකා අමතමින්, “එන්න: අපි ගඩොල් තනා, ඒවා හොඳින් පුලුස්සා ගනිමු” යි කීහ. ඔවුහු ගල් වෙනුවට ගඩොල් ද බදාම වෙනුවට කීල් ද යොදා ගත්හ. එවිට ඔවුහු, “එන්න; අපි අපට ම කීර්ති නාමයක් තනාගන්නා පිණිසත්, මුළු පොළෝ තලය පුරා අප විසිර නො යන පිණිසත්, අහස උසට බළකොටු කොතක් සහිත නගරයක් අපට ගොඩ නගා ගනිමු” යි කීහ. එවිට මිනිසුන් ගොඩ නගන නගරය හා කොත බලන පිණිස ස්වාමින්වහන්සේ බැස ආ සේක. ස්වාමින්වහන්සේ කතා කොට, “බලන්න! එක් බසක් කතා කරන එක ම ජනතාවක් වශයෙන් පටන් ගැන්මට මොවුන් මේ තරම් දෙයක් කරයි නම්, අරමුණු කරන කවරක් වුව ඔවුනට කළ නො හැකි නො වේ. යමු: අපි පහළ බැස ගොස්, ඔවුන්ගේ කතාව එකිනෙකාට නො තේරෙන ලෙස ඔවුන්ගේ භාෂාව වියවුල් කරමු” යි කී සේක. ස්වාමින්වහන්සේ මෙසේ මුළු පොළෝ තලය පුරා ඔවුන් විසුරුවා හළ සේක. ඔවුහු ද නගරය ගොඩනැගීම අත්හැරියහ. ඒ නගරය, “බාබෙල්” නමින් හැඳින්වූයේ ස්වාමින්වහන්සේ මුළු ලොවෙහි ම භාෂා වියවුලක් ඇති කළේ එහිදී බැවිනි. මුළු පොළෝ තලය පුරා ස්වාමින්වහන්සේ ඔවුන් විසුරුවා හැරියේ එතැනින් ය. ෂේම්ගේ පරම්පරාවේ තොරතුරු මෙසේ ය; ෂේම් වසර සියයක් වයස් වූ කල, ජලගැල්මෙන් දෙවසරකට පසු අර්පක්ෂද්ගේ පියා බවට පත් විය. අර්පක්ෂද් උපන් පසු, පන්සිය වසරක් විසූ ෂේම්, තවත් පුතුන් හා දූවරුන් ලද්දේ ය. අර්පක්ෂද් වසර තිස්පහක් වයස් වූ කල, ඔහු ෂේලාගේ පියා බවට පත් විය. ෂේලා උපන් පසු, හාරසිය තුන් වසරක් විසූ අර්පක්ෂද්, තවත් පුතුන් හා දූවරුන් ලද්දේ ය. ෂේලා වසර තිහක් වයස් වූ කල, ඔහු ඒබෙර්ගේ පියා බවට පත් විය. ඒබෙර් උපන් පසු, හාරසිය තුන් වසරක් විසූ ෂේලා, තවත් පුතුන් හා දූවරුන් ලද්දේ ය. ඒබෙර් වසර තිස්හතරක් වයස් වූ කල, ඔහු පෙලෙග්ගේ පියා බවට පත් විය. පෙලෙග් උපන් පසු, හාරසිය තිස් වසරක් විසූ ඒබෙර්, තවත් පුතුන් හා දූවරුන් ලද්දේ ය. පෙලෙග් තිස් වසරක් වයස් වූ කල, ඔහු රෙයූගේ පියා බවට පත් විය. රෙයූ උපන් පසු, දෙසිය නව වසරක් විසූ පෙලෙග්, තවත් පුතුන් දූවරුන් ලද්දේ ය. රෙයූ වසර තිස්දෙකක් වයස් වූ කල, ඔහු සෙරූග්ගේ පියා බවට පත් විය. සෙරූග් උපන් පසු, දෙසිය හත් වසරක් විසූ රෙයූ, තවත් පුතුන් හා දූවරුන් ලද්දේ ය. සෙරූග් වසර තිහක් වයස් වූ කල, ඔහු නාහෝර්ගේ පියා බවට පත් විය. නාහෝර් උපන් පසු, දෙසීය වසරක් විසූ සෙරූග්, තවත් පුතුන් දූවරුන් ලද්දේ ය. නාහෝර් වසර විසිනවයක් වයස් වූ කල, ඔහු තේරාගේ පියා බවට පත් විය. තේරා උපන් පසු, එකසිය දහනව වසරක් විසූ නාහෝර්, තවත් පුතුන් හා දූවරුන් ලද්දේ ය. තේරා හැත්තෑ වසරක් වයස් වූ පසු, ඔහු ආබ්‍රම්ගේ ද නාහෝර්ගේ ද හරාන්ගේ ද පියා බවට පත් විය.

උත්පත්ති 11:1-26 Sinhala Revised Old Version (SROV)

මුළු පොළොවෙහි එකම භාෂාවක්ද එකම කථා ක්‍රමයක්ද විය. තවද ඔව්හු නැගෙනහිර දිසාවට ගමන්කරන අතර ෂිනාර් නම් දේශයෙහි සමභූමියක් සම්බවී එහි වාසය කළෝය. ඔව්හු එකිනෙකාට කථාකොට: එන්න, අපි ගඩොල් සාදා හොඳට පුළුස්සමුයයි කීවෝය. ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට කීල්ද ඔවුන්ට තිබුණේය. ඔව්හු: එන්න, මුළු පොළෝතලයෙහි අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩනගා අපට නාමයක් සාදාගනිමුයයි කීවෝය. එවිට මනුෂ්‍ය පුත්‍රයන් ගොඩනගන නුවරද කොටුවද බලන පිණිස ස්වාමීන්වහන්සේ බැස්සසේක. ස්වාමීන්වහන්සේ ද: බලව, ඔව්හු එක සෙනඟක්ය, ඔවුන් සියල්ලන්ට ඇත්තේ එක භාෂාවක්ය; ඔවුන් කරන්ට පටන්ගන්නා දේ මේය; ඉදින් ඔවුන් කරන්ට අදහස්කරන කිසිවක් ඔවුන්ට දුෂ්කර නොවන්නේය. යමු, අපි බැස ඔවුන්ට එකිනෙකාගේ කථාව නොතේරෙන ලෙස එහි ඔවුන්ගේ භාෂාව අවුල්කරමුයයි කීසේක. මෙසේ ස්වාමීන්වහන්සේ එතැනින් මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවුසේක. ඔව්හුද නුවර ගොඩනැගීම අත්හැරියෝය. එහිදී ස්වාමීන්වහන්සේ මුළු පොළොවේ භාෂාව අවුල්කළ බැවින් ඊට බාබෙල් නම් විය. එතැනින් ස්වාමීන්වහන්සේ මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවුසේක. ෂෙම්ගේ පරම්පරා මේය. ෂෙම් අවුරුදු සියයක් වයස්වූ කල, ජලගැලීමට දෑවුරුද්දකට පසු ඔහුට දාව අර්පක්ෂද් උපන්නේය. අර්පක්ෂද් ඉපදෙවූ පසු ෂෙම් පන්සිය අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. අර්පක්ෂද් තිස්පස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ෂේලා උපන්නේය. ෂේලා ඉපදෙවූ පසු අර්පක්ෂද් හාරසිය තුන් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. ෂේලා තිස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒබෙර් උපන්නේය. ඒබෙර් ඉපදෙවූ පසු ෂේලා හාරසිය තුන් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. ඒබෙර් තිස්හතර අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව පෙලෙග් උපන්නේය. පෙලෙග් ඉපදෙවූ පසු ඒබෙර් හාරසිය තිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. පෙලෙග් තිස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව රෙයු උපන්නේය. රෙයු ඉපදෙවූ පසු පෙලෙග් දෙසිය නව අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. රෙයු තිස් දෑවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව සෙරුග් උපන්නේය. සෙරුග් ඉපදෙවූ පසු රෙයු දෙසිය සත් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. සෙරුග් තිස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව නාහොර් උපන්නේය. නාහොර් ඉපදෙවූ පසු සෙරුග් දෙසිය අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. නාහොර් විසිනව අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව තේරා උපන්නේය. තේරා ඉපදෙවූ පසු නාහොර් එකසිය දසනව අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. තේරා හැත්තෑ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ආබ්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය.

උත්පත්ති 11:1-26 Sinhala New Revised Version (NRSV)

තවද, ඒ කාලයේ දී සකල ලෝවැසි මිනිසුන් කතා කෙළේ එක ම භාෂාවකි; භාවිත කෙළේ ද එක ම වචන මාලාවකි. නැගෙනහිර දිශාවට යන අතර ෂිනාර් නම් ප්‍රදේශයේ තැනිතලාවක් සම්බ වී, ඔව්හු එහි පදිංචි වූ හ. ඔව්හු එකිනෙකාට කතා කරමින්, “එන්න, අපි ගඩොල් සාදා, ඒවා හොඳට පුළුස්සමු”යි කී හ. මෙසේ ඔව්හු ගල් වෙනුවට ගඩොල් ද, හුණු බදාම වෙනුවට කීල් ද පාවිච්චි කළහ. එවිට ඔව්හු කතා කොට, “එන්න, අපි අහස උසට නඟින කොතක් ඇති නගරයක් අපට ම ගොඩනඟා, කීර්තිමත් වෙමු. නැත්නම් මිහි පිට අපට සීසීකඩ විසිර යන්නට සිදු වනු ඇතැ”යි කී හ. ඒ මිනිසුන් ගොඩනැගූ නගරය සහ කොත බැලීම සඳහා සමිඳාණන් වහන්සේ බැස වැඩිය සේක. උන් වහන්සේ, “බලන්න, මේ සියල්ලෝ එක ම ජනතාවකි; ඔව්හු සියල්ලෝ ම එක ම භාෂාවක් කතා කරති; මේ ඔවුන් කරන්නට යන දේවල මුල් පියවර ය. වැඩි කල් යන්නට පෙර ඔවුන්ට කළ නොහැකි කිසි යම් දෙයක් නොවනු ඇත. එබැවින් අපි බැස ගොස්, ඔවුන් එකිනෙකාට නොවැටෙහන පරිදි, ඔවුන්ගේ භාෂාව අවුල් වියවුල් කරමු”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ පොළෝ තලය මත ඔවුන් විසුරුවා හැරිය සේක. ඔව්හු ද නගරය ගොඩනැඟීම නැවැත්වූ හ. සමිඳාණන් වහන්සේ ඒ නගරයෙහි දී මුළු ජනතාවගේ භාෂාව අවුල් වියවුල් කළ බැවින් ඊට ‘බාබෙල්’ යැයි නම යෙදිණි. එතැනින් සමිඳාණන් වහන්සේ ඔවුන් මහ පොළොව පුරා විසිර වූ සේක. ෂෙම්ගේ පෙළපත මෙසේ ය: ෂෙම්ට අවුරුදු සියයක් වයස් වූ කල, මහා ජලගැල්මෙන් දෑවුරුද්දකට පසු, ඔහුට අර්පක්ෂද් උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු පන්සියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. අර්පක්ෂද්ට අවුරුදු තිස්පහක් වයස් වූ කල ඔහුට ෂේලා උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තුනක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. ෂේලාට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට ඒබෙර් උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තුනක් ජීවත් විය. ඔහුට තවත් දැරුදැරියෝ උපන්නෝ ය. ඒබෙර්ට අවුරුදු තිස්හතරක් වයස් වූ කල ඔහුට පෙලෙග් උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තිහක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. පෙලෙග්ට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට රෙයු උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු දෙසිය නවයක් ජීවත් විය. ඔහුට තවත් දැරුදැරියෝ උපන්නෝ ය. රෙයුට අවුරුදු තිස්දෙකක් වයස් වූ කල ඔහුට සෙරුග් උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු දෙසිය හතක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. සෙරුග්ට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට නාහෝර් උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු දෙසියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. නාහෝර්ට අවුරුදු විසිනවයක් වයස් වූ කල ඔහුට තේරා උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු එකසිය දහනවයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. තේරාට අවුරුදු හැත්තෑවක් වයස් වූ කල ඔහුට ආබ්‍රම්, නාහෝර් සහ හාරාන් යන පුතුන් තිදෙන උපන්නෝ ය.

උත්පත්ති 11:1-26 Sinhala New Revised Version 2018 (SNRV)

තවද, ඒ කාලයේ දී සකල ලෝවැසි මිනිසුන් කතා කෙළේ එක ම භාෂාවකි; භාවිත කෙළේ ද එක ම වචන මාලාවකි. නැගෙනහිර දිශාවට යන අතර ෂිනාර් නම් ප්‍රදේශයේ තැනිතලාවක් සම්බ වී, ඔව්හු එහි පදිංචි වූ හ. ඔව්හු එකිනෙකාට කතා කරමින්, “එන්න, අපි ගඩොල් සාදා, ඒවා හොඳට පුළුස්සමු”යි කී හ. මෙසේ ඔව්හු ගල් වෙනුවට ගඩොල් ද, හුණු බදාම වෙනුවට කීල් ද පාවිච්චි කළහ. එවිට ඔව්හු කතා කොට, “එන්න, අපි අහස උසට නඟින කොතක් ඇති නගරයක් අපට ම ගොඩනඟා, කීර්තිමත් වෙමු. නැත්නම් මිහි පිට අපට සීසීකඩ විසිර යන්නට සිදු වනු ඇතැ”යි කී හ. ඒ මිනිසුන් ගොඩනැගූ නගරය සහ කොත බැලීම සඳහා සමිඳාණන් වහන්සේ බැස වැඩිය සේක. උන් වහන්සේ, “බලන්න, මේ සියල්ලෝ එක ම ජනතාවකි; ඔව්හු සියල්ලෝ ම එක ම භාෂාවක් කතා කරති; මේ ඔවුන් කරන්නට යන දේවල මුල් පියවර ය. වැඩි කල් යන්නට පෙර ඔවුන්ට කළ නොහැකි කිසි යම් දෙයක් නොවනු ඇත. එබැවින් අපි බැස ගොස්, ඔවුන් එකිනෙකාට නොවැටහෙන පරිදි, ඔවුන්ගේ භාෂාව අවුල් වියවුල් කරමු”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ පොළෝ තලය මත ඔවුන් විසුරුවා හැරිය සේක. ඔව්හු ද නගරය ගොඩනැඟීම නැවැත්වූ හ. සමිඳාණන් වහන්සේ ඒ නගරයෙහි දී මුළු ජනතාවගේ භාෂාව අවුල් වියවුල් කළ බැවින් ඊට ‘බාබෙල්’ යැයි නම යෙදිණි. එතැනින් සමිඳාණන් වහන්සේ ඔවුන් මහ පොළොව පුරා විසිර වූ සේක. ෂෙම්ගේ පෙළපත මෙසේ ය: ෂෙම්ට අවුරුදු සියයක් වයස් වූ කල, මහා ජලගැල්මෙන් දෑවුරුද්දකට පසු, ඔහුට අර්පක්ෂද් උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු පන්සියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. අර්පක්ෂද්ට අවුරුදු තිස්පහක් වයස් වූ කල ඔහුට ෂේලා උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තුනක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. ෂේලාට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට ඒබෙර් උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තුනක් ජීවත් විය. ඔහුට තවත් දැරුදැරියෝ උපන්නෝ ය. ඒබෙර්ට අවුරුදු තිස්හතරක් වයස් වූ කල ඔහුට පෙලෙග් උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු හාරසිය තිහක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. පෙලෙග්ට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට රෙයු උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු දෙසිය නවයක් ජීවත් විය. ඔහුට තවත් දැරුදැරියෝ උපන්නෝ ය. රෙයුට අවුරුදු තිස්දෙකක් වයස් වූ කල ඔහුට සෙරුග් උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු දෙසිය හතක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. සෙරුග්ට අවුරුදු තිහක් වයස් වූ කල ඔහුට නාහෝර් උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු දෙසියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. නාහෝර්ට අවුරුදු විසිනවයක් වයස් වූ කල ඔහුට තේරා උපන්නේ ය. ඉන්පසු ඔහු තව අවුරුදු එකසිය දහනවයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්නෝ ය. තේරාට අවුරුදු හැත්තෑවක් වයස් වූ කල ඔහුට ආබ්‍රම්, නාහෝර් සහ හාරාන් යන පුතුන් තිදෙන උපන්නෝ ය.

උත්පත්ති 11:1-26 New International Version (NIV)

Now the whole world had one language and a common speech. As people moved eastward, they found a plain in Shinar and settled there. They said to each other, “Come, let’s make bricks and bake them thoroughly.” They used brick instead of stone, and tar for mortar. Then they said, “Come, let us build ourselves a city, with a tower that reaches to the heavens, so that we may make a name for ourselves; otherwise we will be scattered over the face of the whole earth.” But the LORD came down to see the city and the tower the people were building. The LORD said, “If as one people speaking the same language they have begun to do this, then nothing they plan to do will be impossible for them. Come, let us go down and confuse their language so they will not understand each other.” So the LORD scattered them from there over all the earth, and they stopped building the city. That is why it was called Babel—because there the LORD confused the language of the whole world. From there the LORD scattered them over the face of the whole earth. This is the account of Shem’s family line. Two years after the flood, when Shem was 100 years old, he became the father of Arphaxad. And after he became the father of Arphaxad, Shem lived 500 years and had other sons and daughters. When Arphaxad had lived 35 years, he became the father of Shelah. And after he became the father of Shelah, Arphaxad lived 403 years and had other sons and daughters. When Shelah had lived 30 years, he became the father of Eber. And after he became the father of Eber, Shelah lived 403 years and had other sons and daughters. When Eber had lived 34 years, he became the father of Peleg. And after he became the father of Peleg, Eber lived 430 years and had other sons and daughters. When Peleg had lived 30 years, he became the father of Reu. And after he became the father of Reu, Peleg lived 209 years and had other sons and daughters. When Reu had lived 32 years, he became the father of Serug. And after he became the father of Serug, Reu lived 207 years and had other sons and daughters. When Serug had lived 30 years, he became the father of Nahor. And after he became the father of Nahor, Serug lived 200 years and had other sons and daughters. When Nahor had lived 29 years, he became the father of Terah. And after he became the father of Terah, Nahor lived 119 years and had other sons and daughters. After Terah had lived 70 years, he became the father of Abram, Nahor and Haran.