නික්මයාම 34:29-32

නික්මයාම 34:29-32 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෝසෙස් සීනයි කන්දෙන් පහළ බැස ආවේ, ගිවිසුමේ ගල් පුවරු දෙක ද අතැතිව ය. ඔහු ස්වාමින්වහන්සේ සමඟ කතා කරමින් සිටි බැවින් කන්දෙන් බසිද්දී, මෝසෙස්ගේ මුහුණ බැබළෙන දීප්තියෙන් යුතු වූ වග ඔහු නො දත්තේ ය. ආරොන් හා සියලු ඉශ්‍රායෙල්වරු මෝසෙස් දුටු කල, මෙන්න! ඔහුගේ මුහුණේ බැබළෙන දීප්තියක් විය. එනිසා ඔහු ළඟට එන්නට ඔවුහු භය වූහ. එහෙත් මෝසෙස් ඔවුනට අඬගැසී ය. එවිට ආරොන් ද සමූහයාගේ නායකයින් සැවොම ද යළි ඔහු වෙත ආහ. ඔහු ඔවුන් හා කතා කළේ ය. ඉන්පසු සියලු ඉශ්‍රායෙල්වරු ඔහු ළඟට ආහ. එවිට ඔහු, සීනයි කන්දේදී ස්වාමින්වහන්සේ ඔහුට පැවසූ නියෝග ඔවුනට දුන්නේ ය.

නික්මයාම 34:29-32 Sinhala Revised Old Version (SROV)

තවද මෝසෙස් සාක්ෂියේ ලෑලි දෙක තමාගේ අතින් ගෙන සීනයි කන්දෙන් බැස්සේය, නුමුත් උන්වහන්සේ මෝසෙස් සමඟ කථාකිරීම කරණකොටගෙන ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙන බව කන්දෙන් බැස්ස කල ඔහු නොදැන සිටියේය. ආරොන් සහ සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් මෝසෙස් දුටුකල, බලව, ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙමින් තිබුණේය; එබැවින් ඔව්හු ඔහු ළඟට එන්ට භයවූය. නුමුත් මෝසෙස් ඔවුන්ට අඬගැසුවේය; එවිට ආරොන්ද සභාවේ සියලු අධිපතිවරුද ඔහු ළඟට හැරී ආවෝය. මෝසෙස් ඔවුන්ට කථාකෙළේය. ඉන්පසු සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ළඟට ආවෝය. ඔහුද සීනයි කන්දේදී ස්වාමීන්වහන්සේ ඔහු සමඟ කථාකළ සියල්ල ගැන ඔවුන්ට අණදුන්නේය.