නික්මයාම 1:8-14

නික්මයාම 1:8-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මේ අතර, යෝසෙප් පිළිබඳ අවබෝධයක් නො වූ අලුත් රජෙක්, ඊජිප්තුවේ බලයට පත් විය. ඔහු තම ජනයා අමතමින්, “බලන්න! මේ ඉශ්‍රායෙල් ජනයා අපටත් වඩා ගණනින් වැඩි වී, බලවත් වෙලා. එමු! අප ඔවුන් සමඟ සිහි-නුවණින් ක්‍රියා කළ යුතුයි. නැතහොත් ඔවුන් තවත් වැඩි වේවි. යුද්ධයක් ආවොත්, ඔවුන් අපේ සතුරන් සමඟ එක් වී, අපට එරෙහිව සටන් වැද, දේශයෙන් පිට වී යනු ඇතැ” යි පැවසී ය. එබැවින්, බර වැඩ පටවා, ඔවුන් පීඩාවට පත් කරන පිණිස, ඔවුහු වැඩ විදානේවරුන් පත් කළහ. ඉශ්‍රායෙල්වරු මෙසේ පාරාවෝ උදෙසා පිතොම් හා රාමසෙස් යන ගබඩා නුවරවල් ගොඩ නැගූහ. එහෙත් පීඩා කරනු ලැබීම වැඩි වන තරමට ඔවුහු වඩ වඩා වර්ධන වෙමින්, පැතිරුණහ. ඊජිප්තුවරු, ඉශ්‍රායෙල්වරුන් ගැන භීතියට පත් වූවාහු, ඉශ්‍රායෙල්වරුන් නිර්දය ලෙස බර වැඩෙහි යෙදවූහ. ඔවුහු ඉශ්‍රායෙල්වරුන්ට ජීවිතය තිත්ත කරවමින්, මැටි වැඩ, ගඩොල් වැඩ හා වතු පිටිවල සියලු වැඩ යන බර වැඩෙහි ඔවුන් යෙදවූහ. ඊජිප්තුවරුන් මේ සියලු බර වැඩ ඔවුන්ට පැටවූයේ දයා විරහිත ව ය.

නික්මයාම 1:8-14 Sinhala Revised Old Version (SROV)

තවද යෝසෙප් නාඳුනන අලුත් රජෙක් මිසරය කෙරෙහි පත්වුණේය. ඔහු තමාගේ සෙනඟට කථාකොට: බලව, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සෙනඟ අපට වඩා බොහෝව වඩා බලවත්ව සිටිති. එන්න, ඔවුන් බෝනොවන පිණිසත් යම් යුද්ධයක් සිදුවන කල අපේ සතුරන්ට එක්ව අපට විරුද්ධව සටන්කොට දේශයෙන් පිටවී නොයන පිණිසත් ඔවුන් සමඟ නුවණින් ක්‍රියාකරමුයයි කීවේය. එසේ හෙයින් ඔව්හු බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්කළෝය. ඔව්හු පිථොම් සහ රාම්සෙස් නම් ගබඩා නුවරවල් ඵාරාවෝ හට ගොඩනැගුවෝය. නුමුත් ඔවුන්ට පීඩාකරන්ට කරන්ට ඔව්හු වඩ වඩා බෝවී වඩ වඩා පැතිරගියෝය. මිසරවරු ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා බියපත්ව තද ලෙස මෙහෙකරන්ට ඔවුන්ට සැලැස්සුවෝය. ඔවුන් යෙදූ තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩද කෙතෙහි සියලු ආකාර වැඩද ඔවුන් ලවා කෙරෙවු සියලු තදබල වැඩද කරණකොටගෙන ඔව්හු ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය.

නික්මයාම 1:8-14 Sinhala New Revised Version (NRSV)

එකල ජෝසෙප් ගැන කිසිවක් නොදත් අලුත් රජෙක් සිංහාසනාරූඪ විය. ඔහු තම සෙනඟට කතා කොට, “බලන්න, ඉශ්රායෙල් ජනතාවගේ සෙනඟ අපට වඩා ගණනින් වැඩි වී, බලවත් ව, අපට තර්ජනයක් වී ඇත. දැන් ඉතින් කන් දෙන්න, ඔවුන්ගේ සංබ්‍යාව වැඩි වීම වළකන පිණිස අපි ඔවුන් සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරමු. යම් හෙයකින් යුද්ධයක් ඇති වුවහොත්, ඔවුන් ද අපේ සතුරන් සමඟ පෙරමුණු බැඳගෙන, අපට විරුද්ධ ව සටන් කොට රට පාලනය කරන්න පුළුවනැ”යි කී ය. එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා-නගර ගොඩනැඟුවහු ය. එහෙත් පීඩා විඳින්න, විඳින්න ඔව්හු වඩ වඩා වැඩි වී, වර්ධනය වූ හ. මිසර දේශ වාසීහු ද ඉශ්රායෙල් සෙනඟට බිය වී, ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගත්හ. මෙලෙස කුඹල් කර්මාන්තය, ගඩොල් කර්මාන්තය හා කෙත්වල විවිධ කෘෂිකර්මාන්ත වැනි දරුණු වහල් මෙහෙවරින් ඔව්හු ඔවුන්ගේ ජීවිත දැරිය නොහැකි තත්ත්වයකට පත් කළහ. තවද, ඔව්හු ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සියලු ආකාර බර වැඩ ගත්හ.

නික්මයාම 1:8-14 Sinhala New Revised Version 2018 (SNRV)

එකල ජෝසෙප් ගැන කිසිවක් නොදත් අලුත් රජෙක් සිංහාසනාරූඪ විය. ඔහු තම සෙනඟට කතා කොට, “බලන්න, ඉශ්රායෙල් ජනතාවගේ සෙනඟ අපට වඩා ගණනින් වැඩි වී, බලවත් ව, අපට තර්ජනයක් වී ඇත. දැන් ඉතින් කන් දෙන්න, ඔවුන්ගේ සංබ්‍යාව වැඩි වීම වළකන පිණිස අපි ඔවුන් සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරමු. යම් හෙයකින් යුද්ධයක් ඇති වුවහොත්, ඔවුන් ද අපේ සතුරන් සමඟ පෙරමුණු බැඳගෙන, අපට විරුද්ධ ව සටන් කොට රට පාලනය කරන්න පුළුවනැ”යි කී ය. එබැවින් ඔවුන්ගෙන් බර වැඩ ගෙන, ඔවුන්ට පීඩා කරන පිණිස ඔව්හු ඔවුන් කෙරෙහි විධායකයන් පත් කළහ. මෙලෙස ඉශ්රායෙල් ජනයා පාරාවෝ සඳහා, පීතොම් සහ රාමෙසෙස් යන ගබඩා නගර ගොඩනැඟුවහු ය. එහෙත් පීඩා විඳින්න, විඳින්න ඔව්හු වඩ වඩා වැඩි වී, වර්ධනය වූ හ. මිසර දේශ වාසීහු ද ඉශ්රායෙල් සෙනඟට බිය වී, ඔවුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගත්හ. මෙලෙස කුඹල් කර්මාන්තය, ගඩොල් කර්මාන්තය හා කෙත්වල විවිධ කෘෂිකර්මාන්ත වැනි දරුණු වහල් මෙහෙවරින් ඔව්හු ඔවුන්ගේ ජීවිත දැරිය නොහැකි තත්ත්වයකට පත් කළහ. තවද, ඔව්හු ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සියලු ආකාර බර වැඩ ගත්හ.