එස්තර් 9:11-16

එස්තර් 9:11-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ෂූෂන් බළකොටුවේ මරා දමනු ලැබූවන්ගේ ගණන ඒ දවසේ ම රජුට වාර්තා කරන ලදී. රජු එස්තර් බිසවට කතා කොට, “යුදෙව්වරුන් ෂූෂන් බළකොටුවේ පමණක් මිනිසුන් පන්සිය දෙනෙක් හා හාමාන්ගේ පුතුන් දස දෙනා මරා විනාශ කර දමා ඇත. රජුගේ සෙසු ප්‍රාන්තවල ඔවුන් මොනවා නො කරන්නට ඇද්ද? හොඳයි දැන්, මොකක් ද ඔබේ අයැදුම? ඔබට එය ඉටු කර දෙනු ලැබේ; මොකක් ද ඔබේ ඉල්ලීම? එය ද අනුමත කෙරේ” යි කීවේ ය. එස්තර් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් කැමති නම්, අද දවසේ රාජාඥාව හෙට දවසේත් ක්‍රියාත්මක කරන්නට ෂූෂන්හි යුදෙව්වරුන්ට අවසර දෙනු මැනවි. තවද හාමාන්ගේ පුතුන් දස දෙනාගේ සිරුරු එල්ලුම් ගස්වල එල්ලා තබනු ලැබේවා” යි කීවා ය. එබැවින්, එසේ කරන ලෙස රජු නියෝග කළේ ය. ෂූෂන්හි ආඥාවක් නිකුත් කරන ලදී. හාමාන්ගේ පුතුන් දස දෙනාගේ සිරුරු ද එල්ලා තබන ලදී. ෂූෂන්හි යුදෙව්වරු රංචු ගැසී, අදාර් මස දාහතර වන දින ෂූෂන්හි තුන්සිය දෙනෙක් මරා දැමූහ. එහෙත් ඔවුන් කොල්ලකෑමට අත පෙව්වේ නැත. මේ අතර රජුගේ ප්‍රාන්තවල සෙසු යුදෙව්වරු ද තමන්ගේ ආරක්ෂාව සඳහා එක් රොක් වී ඔවුන්ගේ සතුරන්ගෙන් නිදහස් වූහ. ඔවුහු සතුරන් හැත්තෑපන්දහස් දෙනෙක් මරා දැමූහ; එහෙත් කොල්ලයට අත පෙව්වේ නැත.

එස්තර් 9:11-16 Sinhala Revised Old Version (SROV)

එදා ෂූෂන් බලකොටුවේදී මැරුම්කෑ අයින්ගේ ගණන රජු ඉදිරිපිටට ගෙනෙනලද්දේය. එවිට රජ එස්තර් බිසවට කථාකොට: ෂූෂන් බලකොටුවේදී යුදෙව්වරු වනාහි මනුෂ්‍යයන් පන්සියයක්ද හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද මරා නැතිකළෝය. රජුගේ අනික් රටවල මක්කරන්ට නැද්ද? ඉතින් නුඹේ ඉල්ලීම මොකද? ඒක නුඹට දෙනු ලැබේ. තවත් නුඹේ අයදුම මොකද? ඒක ඉෂ්ටකරනු ලැබේවයි කීවේය. එවිට එස්තර් කථාකොට: රජ්ජුරුවන් ප්‍රසන්න නම් ෂූෂන්හි සිටින යුදෙව්වරුන්ට අද දවසේ නියෝගයේ හැටියට හෙටත් කරන්ට අවසර ලැබේවා, හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද එල්ලුම්ගහේ එල්ලා තබත්වයි කීවාය. රජ එසේ කරන්ට අණකෙළේය. එවිට ෂූෂන්හි නියෝගයක් දෙන්ට යෙදුණේය; ඔව්හු හාමාන්ගේ පුත්‍රයන් දසදෙනා එල්ලා තැබුවෝය. ෂූෂන්හි සිටි යුදෙව්වරුද අදාර් මස දහහතරවෙනි දවසෙත් රැස්වී ෂූෂන්හි මනුෂ්‍යයන් තුන්සියයක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට ඔව්හු අත නොපෙවුවෝය. රජුගේ රටවල සිටි අනික් යුදෙව්වරුද රැස්ව, තමුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා විරුද්ධව සිට, තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්වී, තමුන්ගේ වෛරකාරයන්ගෙන් හැත්තෑ පන්දහසක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට අත නොපෙවුවෝය.

එස්තර් 9:11-16 Sinhala New Revised Version (NRSV)

එදා සූසා අගනුවර මැරුම් කෑ අයගේ ගණන රජුට දන්වන ලද්දේ ය. එවිට රජු එස්තර් රැජිනට කතා කොට, “සූසා අගනුවර පමණක් ජුදෙව්වරු මිනිසුන් පන්සියයක් ද හාමාන්ගේ පුත්‍රයන් දස දෙනා ද මරා දැමූ හ. රජුගේ සෙසු ප්‍රදේශවල ඔවුන් කුමක් කර ඇද් ද? ඉතින් ඔබේ ඉල්ලීම කුමක් ද? එය ඔබට දෙනු ලැබේ. ඔබ තවත් අයැදින්නේ කුමක් ද? එය ඉල්ලූ පමණින් ඉෂ්ට කරනු ලැබේ ය”යි කීවේ ය. එවිට එස්තර් කතා කොට, “රජතුමා කැමැති නම්, සූසාහි සිටින ජුදෙව්වරුන්ට අද දවසේ නියෝගය ලෙස හෙටත් කරන්නට අවසර ලැබේ වා! හාමාන්ගේ පුත්‍රයන් දස දෙනාගේ මළකඳන් එල්ලුම් ගහේ එල්ලා තබත්වා”යි කීවා ය. රජතුමා එසේ කරන්නට අණ කෙළේ ය. එවිට රාජ නියෝගය ප්‍රසිද්ධ කරන ලදී. ඔව්හු හාමාන්ගේ පුත්‍රයන් දස දෙනාගේ මළකඳන් එල්ලා තැබුවෝ ය. සූසාහි සිටි ජුදෙව්වරු ද අදාර් මස දහහතර වන දවසේත් රැස් වී සූසාහි මනුෂ්‍යයන් තුන්සියයක් මරාදැමුවෝ ය. එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය. රජුගේ ප්‍රදේශවල සිටි සෙසු ජුදෙව්වරු ස්වකීය ජීවිතාරක්ෂාව සඳහා ද සතුරන්ගෙන් නිදහස් වන පිණිස ද සංවිධාන වූ හ. ඔව්හු සිය සතුරන් හැත්තෑ පන්දහසක් මරාදැමුවෝ ය. එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය.