එස්තර් 8:11-14

එස්තර් 8:11-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

රජුගේ මෙම ආඥාපත් මගින් හැම පුරවරයක ම වෙසෙන යුදෙව්වරුන්ට එක් රැස් වී, තමන්ගේ ආත්මාරක්ෂාව සලසා ගැනීමේ ද තමන්ට හෝ තම භාර්යාවන් හා දරුවන්ට පහර දෙන කවර ජාතියකට හෝ කවර ප්‍රාන්තයකට හෝ අයත් ආයුධ සන්නද්ධ සේනාවන් විනාශ කිරීමේ, මරා දැමීමේ හා සමූලඝාතන කිරීමේ ද ඔවුන්ගේ සතුරන්ගේ දේපළ කොල්ලකෑමේ ද අයිතිය අනුමත කරන ලදී. අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රාන්තවල යුදෙව්වරුන්ට එසේ ක්‍රියා කිරීම සඳහා නියම කරන ලද දිනය වූයේ, අදාර් මස හෙවත් දොළොස් වන මස දහතුන් වන දිනයයි. ඒ දිනයේ තම සතුරන්ගෙන් පළි ගැනීම සඳහා යුදෙව් ජනයා සූදානම් ව සිටින පිණිස, එම ආඥා ලියවිල්ලේ පිටපතක් හැම ප්‍රාන්තයක ම නීතිය වශයෙන් නිවේදන කොට, හැම ජනතාවකට ම දැනගන්නට සැලැස්විය යුතු විණි. රාජ දූතයෝ රජුගේ විධානයෙන් පිටත් ව, යුහු යුහු ව රාජකීය-අශ්වයින් පන්නමින්, පිම්මේ ගියහ. රාජාඥාව ෂූෂන් බළකොටුවෙහි ද ප්‍රකාශයට පත් කරන ලදී.

එස්තර් 8:11-14 Sinhala Revised Old Version (SROV)

එහි ලියා තිබුණේ: එක දවසේම එනම් අදාර් මාසයවූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනි දින රැස්වී, තමුන්ගේ ප්‍රාණ උදෙසා විරුද්ධව සිටින්ටත් තමුන්ට අන්තරායකරන්ට කැමතිවූ සෙනඟද දේශවාසීන්ද යන සියලුම සේනාවල් බාලයන්ද ස්ත්‍රීන්ද ඇතුළුව නැතිකරන්ටත් මරාදමන්ටත් විනාශකරන්ටත් ඔවුන්ගේ දේපළ කොල්ලකාගන්ටත් අහෂ්වේරොෂ් රජුගේ සියලුම රටවල එක එක නුවර සිටින යුදෙව්වරුන්ට රජ අවසර දෙන්නේය යනුයි. එක එක පළාතට නියෝගය දෙන පිණිසත් යුදෙව්වරුන් තමුන්ගේ සතුරන්ගෙන් පළිගැනීමට ඒ දවසට සූදානම්ව සිටින පිණිසත් ඒ ලියවිල්ලේ පිටපතක් සියලුම ජනයන් වෙත ප්‍රසිද්ධකර යවනලද්දේය. පණිවිඩකාරයෝ රාජසේවයෙහි යෙදූ ශීඝ්‍ර සෛන්ධවයන් පිට නැගී, රජුගේ අණ නිසා ඉක්මනින් කඩිසර ලෙස පිටත්ව ගියෝය; ඒ නියෝගය ෂූෂන් බලකොටුවේදී දෙනලද්දේය.

එස්තර් 8:11-14 Sinhala New Revised Version (NRSV)

මේ ලියුම්වලින් රජතුමා සෑම නගරයක ම සිටි ජුදෙව්වරුන්ට සිය දිවි රැකගැනීම පිණිස සංවිධාන වීමටත්, ඔවුන්ට පහර දෙන්නට තැත් කළ කිනම් ජාතියක හෝ ප්‍රදේශයක හෝ සන්නද්ධ සේවාවන් ඔවුන්ගේ බාලයන් ද ස්ත්‍රීන් ද ඇතුළු සියලු දෙනා සමූලඝාතනය කරන්නත්, මරන්නත්, විනාශ කරන්නත්, ඔවුන්ගේ දේපළ පැහැර ගන්නත් අවසර දෙන ලදී. මේ නියමය අහෂ්වේරොෂ් රජුගේ සියලු ම රටවල ජුදෙව්වරුන් ඝාතනය කරන්නට නියම ව තිබුණ අදාර් නම් දොළොස් වන මාසයේ දහතුන් වන දා ක්‍රියාත්මක වන්නට නියම ව තිබිණි. එක එක පළාතට නියෝගය දෙන පිණිසත්, ජුදෙව්වරුන් තමන්ගේ සතුරන්ගෙන් පළිගැනීමට ඒ දවසට සූදානම් ව සිටින පිණිසත් ඒ ලියවිල්ලේ පිටපතක් සියලු ම ජනයන් වෙත ප්‍රසිද්ධ කර යවන ලදී. පණිවුඩකාරයෝ රාජ සේවයෙහි යෙදූ ශීඝ්‍රයෙන් ගමන් කරන සෛන්ධවයන් පිට නැඟී, රජුගේ අණ නිසා ඉක්මනින් කඩිසර ලෙස පිටත් ව ගියෝ ය. ඒ නියෝගය සූසා නම් අගනුවර ද ප්‍රසිද්ධ කරන ලදී.