එස්තර් 8:1-6

එස්තර් 8:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අහෂ්වේරොෂ් රජ එදින ම, යුදෙව්වරුන්ගේ හතුරා වූ හාමාන්ගේ ගේ-දොර එස්තර් බිසවට දුන්නේ ය. මොර්දෙකයි රජු ඉදිරියට පැමිණියේ ය. මන්ද ඔහු තමාට කවුරුන්දැයි, එස්තර් පවසා තිබිණි. රජු හාමාන්ගෙන් ආපසු ලබාගෙන තිබූ පේරැස් මුද්ද ගලවා, මොර්දෙකයිට පිළිගැන්වී ය. එස්තර්, හාමාන්ගේ ගේ-දොර භාරකාරත්වය ඔහුට පැවරී ය. එස්තර් රජුගේ පාමුල වැටී, හඬමින් අගාගීය හාමාන්ගේ කුරිරු සැලැස්මත්, යුදෙව් ජනයාට විරුද්ධ ව ඔහු යොදා තිබූ උපාය මාර්ගත් නවතා දමන ලෙස යදිමින්, යළිදු රජුට කන්නලව් කළා ය. එවිට රජු රන් සෙංකෝලය එස්තර් වෙත දිගු කළේ ය; ඈ නැගිට, ඔහු අබියස සිටගත්තා ය. ඈ රජු අමතමින්, “රජතුමා ප්‍රසන්න නම්, ඔබගේ ප්‍රසාදය මා කෙරේ වේ නම්, කළ යුතු දේ මේ යයි රජතුමාට සිතේ නම්, රජු මා කෙරේ ප්‍රිය මනාප නම්, මෙසේ කරන්න. රජුගේ සියලු ප්‍රාන්තවල යුදෙව් ජනයා වැනසීමට, අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන් විසින් උපායශීලී ව ලියා යවන ලද ආඥාපත්, අවලංගු කරන නියෝගයක් ලියනු ලැබේවා. මගේ ජනයා පිට ඒ විපත්තිය එනු බලා, මා ඉවසා දරා සිටින්නේ කෙසේ ද? මගේ ම නෑ පරපුර විනාශ වනු බලා, මා ඉවසා දරා ගන්නේ කෙසේ දැ?” යි කීවා ය.

එස්තර් 8:1-6 Sinhala Revised Old Version (SROV)

ඒ දවසේදී අහෂ්වේරොෂ් රජ යුදෙව්වරුන්ගේ සතුරාවූ හාමාන්ගේ ගේදොර එස්තර් බිසවට දුන්නේය. තවද මොර්දෙකයි රජු ඉදිරියට පැමුණුණේය; මක්නිසාද එස්තර් විසින් ඇයට ඔහු ඇති නෑකම රජුට දන්වා තිබුණේය. රජතෙමේ හාමාන්ගෙන් ආපසු ගත්තාවූ තමාගේ මුදුව ගළවා මොර්දෙකයිට දුන්නේය. එස්තර් තොමෝ මොර්දෙකයි හාමාන්ගේ ගේදොර කෙරෙහි ප්‍රධානියා කළාය. එස්තර් නැවතත් රජු ඉදිරියෙහි කථාකොට රජුගේ පාමුල වැටී: අගාගිය හාමාන් අදහස් කළ නපුරද යුදෙව්වරුන්ට විරුද්ධව ඔහු යෝජනා කළ උපායද පහකරන මෙන් අඬා කන්නලව්කළාය. රජ එස්තර් දෙසට රන් ජයකොන්තය දිගුකෙළේය. එවිට එස්තර් නැගිට රජු ඉදිරියෙහි සිට කථාකොට: රජ්ජුරුවන් ප්‍රසන්න නම්, ඔබගෙන් මට කරුණාවද ලැබී තිබේනම්, එසේම කාරණය රජ්ජුරුවන්ට හරිව පෙනේ නම්, මා රජුගේ ඇස් හමුයෙහි ප්‍රියවී නම්, රජුගේ සියලු රටවල සිටින යුදෙව්වරුන් විනාශකරන්ට අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් කළ යෝජනාව එනම් ඔහු ලියා යැවූ ලියුම් අවලංගුකරන පිණිස ලියා අරිනු ලැබේවා. මක්නිසාද මාගේ ජාතියට පැමිණෙන නපුර දැක දැක මා ඉවසාගන ඉන්නේ කොහොමද? මාගේ නෑයන්ගේ විනාශය දැක දැක ඉවසාගන ඉන්නේ කොහොමදැයි කීවාය.

එස්තර් 8:1-6 Sinhala New Revised Version (NRSV)

ඒ දවසේ දී අහෂ්වේරොෂ් රජ ජුදෙව්වරුන්ගේ සතුරා වූ හාමාන්ගේ ගේදොර එස්තර් රැජිනට දුන්නේ ය. තවද, මොර්දෙකයි රජතුමා ඉදිරිපිටට පැමිණියේ ය. මන්ද, එස්තර් හා මොර්දෙකයි අතර ඇති නෑකම රජුට දන්වා තිබිණි. රජතුමා හාමාන්ගෙන් ආපසු ගත්, තමාගේ පේරැස් මුද්ද ගලවා මොර්දෙකයිට දුන්නේ ය. එස්තර් තොමෝ හාමාන්ගේ ගේදොර කෙරෙහි මොර්දෙකයි පරිපාලකයා වශයෙන් පත් කළා ය. එස්තර් නැවතත් රජු ඉදිරියෙහි කතා කොට, රජුගේ පාමුල වැටී, ආගග් ජාතික හාමාන් අදහස් කළ නපුර ද ජුදෙව්වරුන්ට විරුද්ධ ව ඔහු යෝජනා කළ උපාය ද ව්‍යර්ථ කරන ලෙස අඬා කන්නලව් කළා ය. රජ එස්තර් දෙසට රන් ජයකොන්තය දිගු කෙළේ ය. එවිට එස්තර් නැඟිට රජු ඉදිරියෙහි සිට කතා කොට, “රජතුමා කැමැති නම්, මට කරුණාව ද ලැබී තිබේ නම්, එසේ ම මාගේ යෝජනාව රජ්ජුරුවන්ට හරි යයි පෙනේ නම්, මා රජුගේ ඇස් හමුයෙහි ප්‍රිය මනාප නම්, රජුගේ සියලු ප්‍රදේශවල සිටින ජුදෙව්වරුන් විනාශ කරන්නට ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන් උපක්‍රමයකින් ලියා යැවූ ලියුම් අවලංගු කරන පිණිස නිවේදනයක් යවනු මැනව. මන්ද, මාගේ සෙනඟට පැමිණෙන නපුර දැක දැක මා ඉවසාගෙන සිටින්නේ කොහොම ද? මාගේ ඥාතීන්ගේ විනාශය දැක ඉවසාගෙන සිටින්නේ කොහොම දැ”යි කීවා ය.