එස්තර් 7:8-10

එස්තර් 7:8-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මාලිග උයනේ සිට රජු තමන් මිදි යුෂ පානය කළ ශාලාවට ආපසු පිවිසෙද්දී, එස්තර් හාන්සි වී සිටි කවිච්චිය මත හාමාන් වැටී සිටියේ ය. එවිට රජු, “මොහු බිසවුනට බලහත්කාරකම් කරන්නටත් යනවා ද! මගේ මාලිගයේ, මා ඉදිරිපිටදී ම!” යි මොර ගෑවේ ය. ඒ වචන රජුගේ මුවින් පිටවෙනවාත් සමඟ ම ඔවුහු හාමාන්ගේ මුහුණ ආවරණ කළහ. එවිට, රජුට මෙහෙවර කරන නපුංසක නිලධාරීන්ගෙන් කෙනකු වූ හර්බෝනා කතා කොට, “හාමාන්ගේ නිවස ළඟ රියන් පනහක් උස පෝරකයක් සිටුවා තිබේ. ඔහු එය තනවන ලද්දේ වරක් රජතුමාගේ යහපතට තොරතුරු සැපයූ මොර්දෙකයි එල්ලන්නට යැ” යි පැවසී ය. “මොහු එහි එල්ලා දමනු” යි රජු පැවසී ය. මෙසේ, මොර්දෙකයි එල්ලීමට ඔහු සෑදවූ පෝරකයේ ම ඔවුහු හාමාන් එල්ලා දැමූහ. ඉන්පසු රජුගේ උදහස සංසිඳිණි.

එස්තර් 7:8-10 Sinhala Revised Old Version (SROV)

රජ මාලිගාවේ උයනෙන් මුද්‍රිකපාන ශාලාවට හැරී ආ විට හාමාන් එස්තර් උන් යහන පිට වැටී උන්නේය. එවිට රජ: ගෙයි මා ඉදිරිපිටදී ඔහු බිසවට බලාත්කාරකරන්ටත් යනවාදැයි කීවේය. මේ වචනය රජුගේ මුඛයෙන් නික්මුණු හැටියේම ඔව්හු හාමාන්ගේ මුහුණ වැසූහ. නපුංසකයන්ගෙන් එක්කෙනෙක්වූ හර්බෝනා රජු ඉදිරියෙහි කථාකොට: ඇරත් රජුගේ ශුභසිද්ධියට කථාකළාවූ මොර්දෙකයිට හාමාන් විසින් සෑදෙවු පනස් රියනක් උස ඇති එල්ලුම්ගහ හාමාන්ගේ ගෙදර ළඟ හිටවා තිබේයයි කීය. ඔහු ඒකේ එල්ලාදමන්නැයි රජ කීවේය. එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේම හාමාන් එල්ලා දැමුවෝය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳුණේය.

එස්තර් 7:8-10 Sinhala New Revised Version (NRSV)

රාජකීය උයනෙන් භෝජන ශාලාවට රජු හැරී ආ විට හාමාන් එස්තර් උන් යහන පිට වැටී උන්නේ ය. එවිට රජතුමා කතා කරමින්, “මාලිගාවේ මා ඉදිරිපිට දී මොහු රැජිනටත් බලහත්කාරකම් කරන්නට යන්නේ දැ”යි කීවේ ය. මේ වචනය රජුගේ මුඛයෙන් නික්මුණු හැටියේම නපුංසකයෝ හාමාන්ගේ මුහුණ වැසූ හ. නපුංසකයන්ගෙන් එක් කෙනෙකු වන හර්බෝනා රජු ඉදිරියෙහි කතා කොට, “එපමණක් නොව, රජුගේ ජීවිතය බේරාගත් මොර්දෙකයි එල්ලීමට හාමාන් මීටර් විසිදෙකක් උස එල්ලුම් ගහක් ඔහුගේ ගෙදර ම ඉදි කරවා තිබේ ය”යි කී ය. “මොහු එසේ එල්ලා දමන්නැ”යි රජතුමා කීවේ ය. එසේ හාමාන් විසින් මොර්දෙකයිට සාදන ලද එල්ලුම් ගහේ ම හාමාන් එල්ලා දමනු ලැබී ය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳිණි.