එස්තර් 7:1-4

එස්තර් 7:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෙසේ, රජු ද හාමාන් ද එස්තර් බිසව සමඟ මිදි යුෂ සාදයට ගියහ. දෙවන දවසේ ඔවුන් මිදි යුෂ පානය කරන අතරේ යළි ඇය ඇමතූ රජු, “එස්තර් බිසවුනි, කුමක් ද ඔබේ ප්‍රාර්ථනාව? එය ඉටු කර දෙනු ලැබේ. කුමක් ද ඔබේ ඉල්ලීම? රාජ්‍යයෙන් හරි අඩක් වුවත්, එය අනුමත කෙරේ” යි කීවේ ය. එවිට එස්තර් බිසෝ පිළිතුරු දෙන්නී, “ඔබගේ ප්‍රසාදය මා කෙරේ වේ නම්, අහෝ රජ්ජුරුවනි, ඔබතුමන් ප්‍රසන්න නම්, මට මගේ ජීවිතය දුන මැනවි; මගේ අයැදුම එයයි. මගේ ජනතාව බේරා දුන මැනවි; මගේ ඉල්ලීම එයයි. මන්ද මා හා මගේ ජනතාව විනාශයටත්, මරණයටත්, සමූලඝාතනයටත් විකුණනු ලැබ සිටින්නෙමු. අපි හුදෙක් ස්ත්‍රී හා පුරුෂ වහලුන් වශයෙන් විකුණනු ලැබීමු නම්, මට නිහඬ ව සිටින්නට තිබිණි. මක්නිසාද රජුට වන අලාභය අපගේ දුක් වේදනා හා සංසන්දනය කළ නො හැකි බැවිනි” යි කීවා ය.

එස්තර් 7:1-4 Sinhala Revised Old Version (SROV)

මෙසේ රජද හාමාන්ද එස්තර් බිසව සමඟ පාන උත්සවයට ආවෝය. දෙවෙනි දවසෙත් මුද්‍රිකපාන මංගල්‍යයේදී රජ එස්තර්ට කථාකොට: එස්තර් බිසව, නුඹේ ඉල්ලීම මොකද? ඒක නුඹට දෙනු ලැබේ; නුඹේ අයදුම මොකද? එය රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුවත් ඉෂ්ටකරනු ලැබේයයි කීය. එවිට එස්තර් බිසෝ උත්තරදෙමින්: රජ්ජුරුවෙනි, ඔබගෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේම රජ්ජුරුවන් ප්‍රසන්නනම්, මාගේ ඉල්ලීමට මාගේ ප්‍රාණයද මාගේ අයදුමට මාගේ ජාතියද මට දෙනු ලැබේවා. මක්නිසාද මමත් මාගේ ජාතියත් නාස්තියටද මරාදැමීමටද විනාශයටද විකුණනු ලැබීමුව. දාස දාසීන් කොට අප වික්කා පමණක් නම් නිශ්ශබ්දව සිටින්නෙමි, නුමුත් එදිරිකාරයාට රජුගේ අලාභය පිරිමසාදෙන්ට නුපුළුවනැයි කීවාය.

එස්තර් 7:1-4 Sinhala New Revised Version (NRSV)

රජතුමා හා හාමාන් එස්තර් බිසව සමඟ මංගල භෝජන උත්සවයට පැමිණියහ. දෙ වන දවසේත් මුද්‍රික පානය කරන විට රජතුමා එස්තර්ට කතා කොට, “එස්තර් රැජිනියනි, ඔබේ ඉල්ලීම කුමක් ද? එය ඔබට දෙනු ලැබේ. ඔබේ අයැදුම කුමක් ද? එය මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද දෙන්නෙමි”යි කී ය. එවිට එස්තර් රැජින උත්තර දෙමින්, “රජතුමෙනි, ඔබෙන් මට කරුණාව ලැබී තිබේ නම්, එසේ ම ඔබ කැමැති නම්, මාගේ ඉල්ලීම අනුව මාගේ ජීවිතය බේරා දුන මැනව, මාගේ පැතීම අනුව මාගේ සෙනඟගේ ද ජීවිත බේරා දුන මැනව. මන්ද, මාගේ ජාතියත්, මාත් සමූලඝාතනයට ද මරණයට ද විනාශයට ද පාවා දී ඇත. අප පාවා දෙනු ලැබුවේ දාස දාසීන් වශයෙන් පමණක් නම්, මම නිශ්ශබ්ද වෙමි. එහෙත්, දැන් තිබෙන තත්ත්වය අනුව රජතුමාට වන අලාභ හානිය එදිරිකාරයාට වන හානිය හා සම කිරීමට නුපුළුවනැ”යි කීවා ය.