එස්තර් 4:13-16

එස්තර් 4:13-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මොර්දෙකයි ඔවුන් අත එස්තර්ට පිළිතුරු ලෙස මෙසේ කියා යැවී ය: “සිතන්න එපා රජුගේ මාලිගාවේ සිටින නිසා සියලු යුදෙව් ජනයා අතරින් ඔබ පමණක් ගැලවේය කියා. මොකද මේ අවස්ථාවේ ඔබ නිශ්ශබ්ද ව සිටියොත්, යුදෙව්වරුන්ගේ සරණය හා මිදීම වෙනත් තැනකින් නැගේවි. එහෙත්, ඔබත්, ඔබේ පිය-වංශයත් විනාශ වී යාවි; මන්ද ඔය රාජකීය තනතුරට ඔබ පත් වූයේ, මේ වාගේ අවස්ථාවක් උදෙසා ම නො වේ දැයි කවුරු දනිත් ද?” එවිට එස්තර්, මොර්දෙකයිට ඔවුන් අත පිළිතුරු යවමින්, “ගොස්, ෂූෂන්හි සිටින සියලු යුදෙව්වරුන් එක් රැස් කර, මා උදෙසා උපවාසයක් කරන්න. තුන් දවසක් රෑ දාවල් කිසිවක් නො කා, නො බී සිටින්න. ඔබ කරන්නා වගේ මමත්, මගේ පරිවාර ළඳුන් සමඟ උපවාසයේ යෙදෙන්නෙමි. ඉන්පසු, නීතියට පටහැනි වුවත්, මම රජු වෙත යන්නෙමි. ඉතින්, මා වැනසුනොත් වැනසුනා වේ” යි දැන්වූවා ය.

එස්තර් 4:13-16 Sinhala Revised Old Version (SROV)

එවිට මොර්දෙකයි එස්තර්ට උත්තර යවමින්: රජගෙදර ඉන්න නිසා සියලු යුදෙව්වරුන්ගෙන් නුඹ පමණක් ගැළවේය කියා සිතා නොගන්න. මක්නිසාද මේ ප්‍රස්තාවේදී නුඹ නිශ්ශබ්දවම සිටියොත් වෙන තැනකින් යුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් පැමිණෙනවා ඇත, නුමුත් නුඹ සහ නුඹේ පියවංශය නැතිවන්නේය. නුඹ රාජ්‍යයට පැමුණුණේ මෙවැනි ප්‍රස්තාවක් නිසාම නොවේද කියා දන්නේ කවුදැයි කියා කියන්ට අණකෙළේය. එවිට එස්තර් මොර්දෙකයිට උත්තර යවමින්: ගොස් ෂූෂන්හි සිටින සියලු යුදෙව්වරුන් රැස්කරවා, මා උදෙසා ඔවුන් සමඟ දවස් තුනක් රෑ දාවල් නොකා නොබී නිරාහාරව සිටින්න. මමත් මාගේ වැඩකාරියොත් එසේම නිරාහාරව ඉන්නෙමුව; එවිට නීතියට එකඟ නැති නුමුත් මම රජු ළඟට යන්නෙමි. මා නැතිවුණොත් නැතිවුණාවේ කියා කියන්ට කීවාය.

එස්තර් 4:13-16 Sinhala New Revised Version (NRSV)

එවිට මොර්දෙකයි එස්තර්ට පිළිතුරු යවමින්, “ඔබ රජ ගෙදර සිටින නිසා සියලු ජුදෙව්වරුන් අතරෙන් ඔබ පමණක් ගැළවෙන්නෙහි ය කියා නොසිතන්න. මන්ද, මේ අවස්ථාවේ දී ඔබ නිශ්ශබ්ද ව ම සිටියොත් වෙනතකින් ජුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් පැමිණෙනු ඇත. එහෙත්, ඔබ සහ ඔබේ පිය වංශය නැති වනු ඇත. ඔබ රාජ්‍යයට පැමුණුණේ මෙවැනි අවස්ථාවක් නිසා ම නොවේ ද කියා දන්නේ කවුරු දැ”යි කියන්නට අණ කෙළේ ය. එවිට එස්තර් මොර්දෙකයිට උත්තර යවමින්, “ගොස් සූසාහි සිටින සියලු ජුදෙව්වරුන් රැස් කරවා, මා උදෙසා ඔවුන් සමඟ දවස් තුනක් රෑ දවල් නොකා නොබී නිරාහාර ව සිටින්න. මාගේ සේවිකාවෝත්, මමත්, එසේ ම නිරාහාර ව සිටින්නෙමු. එවිට නීති විරෝධි වුවත් මම රජු ළඟට යන්නෙමි. මා මැරුණොත් මැරුණාවේ” කියා කියන්නට කීවා ය.