එස්තර් 4:1-7

එස්තර් 4:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

සිදුකෙරී ඇති සියලු දෑ ගැන දැනගත් මොර්දෙකයි, තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඇඟ දවටා, අළු තවරාගෙන, පුරවර මධ්‍යයට පිවිස, මහ හඬින්, දැඩි සොවින් විලාප නගන්නට විය. ඔහු රජ වාසල පිවිසුම තෙක් ගියේ ය. මන්ද, ගෝණි රෙදි හැඳි කිසිවකුට රජ වාසල පිවිසුමෙන් ඇතුළු වීමට අවසර නො ලැබේ. රජුගේ නියෝගයත්, විධානයත් පැමිණි සෑම ප්‍රාන්තයක ම යුදෙව් ජනයා අතරෙහි මහත් වැලපීමක් විය. ඔවුහු නිරාහාර ව සිට, හැඬූහ; විලාප නැගූහ. බොහෝ දෙනෙක් ගෝණි රෙදි ඇඳ, අළු මත වැතිර ගත්හ. එස්තර්ගේ පරිවාර ළඳුන් ද ඇගේ සේවක නපුංසකයින් ද පැමිණ, මෙපවත් ඇයට පැවසූ කල, ඈ මහත් සංවේගයට පත් වූවා ය. මොර්දෙකයි හැඳ සිටි ගෝණි රෙදි ගලවා දමා, ඔහුට හැඳ ගැනීමට ඇඳුම් ඈ මොර්දෙකයි වෙත යැව්වා ය. එහෙත් ඔහු ඒවා පිළිගත්තේ නැත. එවිට තමාට මෙහෙ කරන පිණිස පත් කරනු ලැබ සිටි රජුගේ නපුංසකයින්ගෙන් කෙනකු වූ හතාක් කැඳවූ එස්තර්, මොර්දෙකයි වෙත ගොස්, මේ මොකද, කුමක් නිසා දැයි විමසා දැනගන්නා ලෙස ඔහුට නියෝග කළා ය. එබැවින් හතාක්, රජ වාසල ඉදිරිපිට නගර එළිමහන් පිටියේ සිටි මොර්දෙකයි හමුවට ගියේ ය. මොර්දෙකයි එවිට, යුදෙව් ජනයා විනාශ කරනු පිණිස රාජ්‍ය-භාණ්ඩාගාරයට ගෙවීමට හාමාන් පොරොන්දු වූ නියම මුදල් ප්‍රමාණය ඇතුළු ව තමාට සිදුව ඇති සියලු දේ ඔහුට පැවසී ය.

එස්තර් 4:1-7 Sinhala Revised Old Version (SROV)

තවද කෙරුණු සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු තමාගේ වස්ත්‍ර ඉරා, අලු ඇතුව, ගෝණි රෙදි හැඳගන, නුවර මැදට ගොස් මහත්වූ දුක්ඛිතවූ හඬකින් මොරගසමින්, රජවාසල ඉදිරිපිටටම පැමුණුණේය. රජවාසලට වනාහි ගෝණි රෙදි හැඳගෙන කිසිවෙකුට ඇතුල්වෙන්ට අවසර නැත. තවද රජුගේ ආඥාවද නියෝගයද පැමුණුණු සියලු රටවල යුදෙව්වරුන් අතරේ මහත් වැලපීමද නිරාහාරව සිටීමද ඇඬීමද විලාපකීමද විය; බොහෝ දෙනෙක් ගෝණි රෙදි සහ අලු පිට වැතිරගත්තෝය. එවිට එස්තර්ගේ මෙහෙකාරියෝද නපුංසකයෝද අවුත් එපවත් ඈට දැන්නූහ; එකල බිසව ඉතා ශෝක වුණාය. මොර්දෙකයිගෙන් ගෝණි රෙදි ගළවාදමා අන්දවන පිණිස ඈ ඔහුට ඇඳුම් යැවුවාය. නුමුත් ඔහු ඒවා පිළිගත්තේ නැත. එවිට එස්තර් ඈට මෙහෙකරන පිණිස රජු විසින් පත්කළ නපුංසකයන්ගෙන් එක්කෙනෙක්වූ හාතාක්ට අඬගසා, කාරණාව මොකද කියාත් මේ මක්නිසාද කියාත් ගොස් මොර්දෙකයිගෙන් දැනගන්ට අණකළාය. මෙසේ හාතාක් රජවාසල් දොරටුව ඉදිරිපිට නුවර වීදියේ සිටි මොර්දෙකයි ළඟට ගියේය. එවිට මොර්දෙකයි තමාට සිද්ධවුණ සියල්ලත් යුදෙව්වරුන් නැති කරන පිණිස හාමාන් විසින් ඔවුන් ගැන රාජ භාණ්ඩාගාරයට ගෙවන්ට පොරොන්දුවූ මුළු මුදල් ගණනත් ඔහුට කීයේය.

එස්තර් 4:1-7 Sinhala New Revised Version (NRSV)

සිදු වූ සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු ශෝකයෙන් සිය වස්ත්‍ර ඉරාගෙන, ඇඟේ අලු තවරාගෙන, ගෝණි රෙදි හැඳගෙන, ඉමහත් දුකින් හඬා වැලපෙමින් නගරය මැදින් ගියේ ය. මෙසේ ඔහු රජ වාසල ඉදිරිපිටට ම පැමිණියේ ය. ගෝණි රෙදි හැඳගෙන කිසිවෙකුට රජ වාසලට පිවිසීමට අවසර නොතිබිණි. රාජාඥාව ප්‍රකාශ කරනු ලැබූ සියලු රටවල ජුදෙව්වරුන් අතරේ මහා වැලපීම ද නිරාහාර ව සිටීම ද හැඬීම ද විලාප කීම ද ඇති විය. බොහෝ දෙනෙක් ගෝණි රෙදි හැඳගෙන අලු පිට වැතිර සිටියහ. එවිට එස්තර්ගේ මෙහෙකාරියෝ ද නපුංසකයෝ ද අවුත් එපවත් ඈට දැන්වූ හ. එකල බිසව ශෝකයෙන් ඇලළී ගියා ය. ඈ මොර්දෙකයිට ගෝණි රෙදි ඉවත ලා ඇඳගැනීමට ඇඳුම් යැවූවා ය. එහෙත්, ඔහු ඒවා පිළිගත්තේ නැත. එවිට එස්තර්, ඈට මෙහෙකරන පිණිස රජු විසින් පත් කරන ලද නපුංසකයන්ගෙන් එක් කෙනෙකු වන හාතාක් කැඳවා, කාරණාව කුමක් ද කියාත්, ඔහු මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ මන්ද කියාත් ගොස් මොර්දෙකයිගෙන් දැනගන්නට අණ කළා ය. හාතාක් ද අගනුවර රජ වාසල ඉදිරිපිට තිබුණු වීදියේ සිටි මොර්දෙකයි ළඟට ගියේ ය. එවිට මොර්දෙකයි තමාට සිදු වූ සියල්ලත්, ජුදෙව්වරුන් නැති කරන පිණිස හාමාන් රාජ භාණ්ඩාගාරයට ගෙවන්නට පොරොන්දු වූ මුළු මුදල් ගණනත් ඔහුට දැන්වී ය.