එස්තර් 4:1-11
එස්තර් 4:1-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සිදුකෙරී ඇති සියලු දෑ ගැන දැනගත් මොර්දෙකයි, තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඇඟ දවටා, අළු තවරාගෙන, පුරවර මධ්‍යයට පිවිස, මහ හඬින්, දැඩි සොවින් විලාප නගන්නට විය. ඔහු රජ වාසල පිවිසුම තෙක් ගියේ ය. මන්ද, ගෝණි රෙදි හැඳි කිසිවකුට රජ වාසල පිවිසුමෙන් ඇතුළු වීමට අවසර නො ලැබේ. රජුගේ නියෝගයත්, විධානයත් පැමිණි සෑම ප්‍රාන්තයක ම යුදෙව් ජනයා අතරෙහි මහත් වැලපීමක් විය. ඔවුහු නිරාහාර ව සිට, හැඬූහ; විලාප නැගූහ. බොහෝ දෙනෙක් ගෝණි රෙදි ඇඳ, අළු මත වැතිර ගත්හ. එස්තර්ගේ පරිවාර ළඳුන් ද ඇගේ සේවක නපුංසකයින් ද පැමිණ, මෙපවත් ඇයට පැවසූ කල, ඈ මහත් සංවේගයට පත් වූවා ය. මොර්දෙකයි හැඳ සිටි ගෝණි රෙදි ගලවා දමා, ඔහුට හැඳ ගැනීමට ඇඳුම් ඈ මොර්දෙකයි වෙත යැව්වා ය. එහෙත් ඔහු ඒවා පිළිගත්තේ නැත. එවිට තමාට මෙහෙ කරන පිණිස පත් කරනු ලැබ සිටි රජුගේ නපුංසකයින්ගෙන් කෙනකු වූ හතාක් කැඳවූ එස්තර්, මොර්දෙකයි වෙත ගොස්, මේ මොකද, කුමක් නිසා දැයි විමසා දැනගන්නා ලෙස ඔහුට නියෝග කළා ය. එබැවින් හතාක්, රජ වාසල ඉදිරිපිට නගර එළිමහන් පිටියේ සිටි මොර්දෙකයි හමුවට ගියේ ය. මොර්දෙකයි එවිට, යුදෙව් ජනයා විනාශ කරනු පිණිස රාජ්‍ය-භාණ්ඩාගාරයට ගෙවීමට හාමාන් පොරොන්දු වූ නියම මුදල් ප්‍රමාණය ඇතුළු ව තමාට සිදුව ඇති සියලු දේ ඔහුට පැවසී ය. තවද ඔවුන් සමූලඝාතන කිරීම සඳහා ෂූෂන්හි නිවේදන කොට ප්‍රකාශ කර තිබූ රාජ-නියෝග ලියවිල්ලේ පිටපතක් ද මොර්දෙකයි ඔහුට දුන්නේ, එස්තර්ට පෙන්වා, පැහැදිලි කර දී, රජු ඉදිරියට ගොස්, ඇගේ ජනයා උදෙසා දයාව ඉල්ලා, රජුට කන්නලව් කරන්නැයි උදක් ම ඉල්ලන ලෙස ඇයට නියෝග කරන ලෙස කීවේ ය. හතාක් ආපසු ගොස්, මොර්දෙකයි පැවසූ දෑ එස්තර්ට වාර්තා කළේ ය. එවිට එස්තර්, හතාක්ට කතා කොට, මොර්දෙකයි වෙත ගොස්, මෙසේ කියන්නට අණ කළා ය. “රජුගේ කැඳවීමක් නැතිව, රජු හමුවට ඇතුළු මළුවට යන පුරුෂයකුට වුවත්, ස්ත්‍රියකට වුවත්, බලපවත්නේ මරා දමනු ලැබීම යන එක ම නීතියක් වග රජුගේ සියලු නිලධාරීහු ද රජුගේ ප්‍රාන්ත ජනයා ද දත්හ. ඒ අයගේ ජීවිතය රැකෙන්නේ, රජු ඒ අය වෙත රන් රාජ සෙංකෝලය දිගු කළොත් පමණි. එහෙත් තිස් දවසක් ම රජු වෙත ඇතුළට මා කැඳවනු ලැබුවේ නැතැ” යි කීවා ය.
එස්තර් 4:1-11 Sinhala Revised Old Version (SROV)
තවද කෙරුණු සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු තමාගේ වස්ත්‍ර ඉරා, අලු ඇතුව, ගෝණි රෙදි හැඳගන, නුවර මැදට ගොස් මහත්වූ දුක්ඛිතවූ හඬකින් මොරගසමින්, රජවාසල ඉදිරිපිටටම පැමුණුණේය. රජවාසලට වනාහි ගෝණි රෙදි හැඳගෙන කිසිවෙකුට ඇතුල්වෙන්ට අවසර නැත. තවද රජුගේ ආඥාවද නියෝගයද පැමුණුණු සියලු රටවල යුදෙව්වරුන් අතරේ මහත් වැලපීමද නිරාහාරව සිටීමද ඇඬීමද විලාපකීමද විය; බොහෝ දෙනෙක් ගෝණි රෙදි සහ අලු පිට වැතිරගත්තෝය. එවිට එස්තර්ගේ මෙහෙකාරියෝද නපුංසකයෝද අවුත් එපවත් ඈට දැන්නූහ; එකල බිසව ඉතා ශෝක වුණාය. මොර්දෙකයිගෙන් ගෝණි රෙදි ගළවාදමා අන්දවන පිණිස ඈ ඔහුට ඇඳුම් යැවුවාය. නුමුත් ඔහු ඒවා පිළිගත්තේ නැත. එවිට එස්තර් ඈට මෙහෙකරන පිණිස රජු විසින් පත්කළ නපුංසකයන්ගෙන් එක්කෙනෙක්වූ හාතාක්ට අඬගසා, කාරණාව මොකද කියාත් මේ මක්නිසාද කියාත් ගොස් මොර්දෙකයිගෙන් දැනගන්ට අණකළාය. මෙසේ හාතාක් රජවාසල් දොරටුව ඉදිරිපිට නුවර වීදියේ සිටි මොර්දෙකයි ළඟට ගියේය. එවිට මොර්දෙකයි තමාට සිද්ධවුණ සියල්ලත් යුදෙව්වරුන් නැති කරන පිණිස හාමාන් විසින් ඔවුන් ගැන රාජ භාණ්ඩාගාරයට ගෙවන්ට පොරොන්දුවූ මුළු මුදල් ගණනත් ඔහුට කීයේය. තවද ඔවුන් විනාශකරන්ට ෂූෂන්හිදී දුන් නියෝගපත්‍රයේ පිටපත එස්තර්ට පෙන්වා දන්වන පිණිස ඔහුට දී, ඈ රජු ළඟට ගොස් ඔහුට කන්නලව් කර ඇගේ සෙනඟ උදෙසා ඔහුගෙන් කරුණාව ඉල්ලන පිණිස ඈට අණකරන ලෙසද ඔහුට කීයේය. හාතාක් ඇවිත් මොර්දෙකයිගේ වචන එස්තර්ට දැන්නුවේය. එකල එස්තර් හාතාක්ට කථාකොට: අඬගසනු නොලැබ ඇතුල්මළුවට රජු වෙතට ඇතුල්වෙන කොයි පුරුෂයෙකු වුවත් ස්ත්‍රියෙකු වුවත් නොනස්නා පිණිස රජ ඒ අය දෙසට රන් ජයකොන්තය දිගුකළොත් මිස, නැත්නම් ඔහු ගැන ඇත්තේ එකම නියමයක් බව එනම් ඔහු මැරිය යුතු බව රජුගේ සියලු සේවකයෝද රජුගේ රටවල සෙනඟද දනිති. ඇරත් රජු ළඟට යන්ට දැනට තිස් දවසකින් මම කැඳවනු නොලැබීමියි කියා මොර්දෙකයිට කියන්ට අණකළාය.
එස්තර් 4:1-11 Sinhala New Revised Version (NRSV)
සිදු වූ සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු ශෝකයෙන් සිය වස්ත්‍ර ඉරාගෙන, ඇඟේ අලු තවරාගෙන, ගෝණි රෙදි හැඳගෙන, ඉමහත් දුකින් හඬා වැලපෙමින් නගරය මැදින් ගියේ ය. මෙසේ ඔහු රජ වාසල ඉදිරිපිටට ම පැමිණියේ ය. ගෝණි රෙදි හැඳගෙන කිසිවෙකුට රජ වාසලට පිවිසීමට අවසර නොතිබිණි. රාජාඥාව ප්‍රකාශ කරනු ලැබූ සියලු රටවල ජුදෙව්වරුන් අතරේ මහා වැලපීම ද නිරාහාර ව සිටීම ද හැඬීම ද විලාප කීම ද ඇති විය. බොහෝ දෙනෙක් ගෝණි රෙදි හැඳගෙන අලු පිට වැතිර සිටියහ. එවිට එස්තර්ගේ මෙහෙකාරියෝ ද නපුංසකයෝ ද අවුත් එපවත් ඈට දැන්වූ හ. එකල බිසව ශෝකයෙන් ඇලළී ගියා ය. ඈ මොර්දෙකයිට ගෝණි රෙදි ඉවත ලා ඇඳගැනීමට ඇඳුම් යැවූවා ය. එහෙත්, ඔහු ඒවා පිළිගත්තේ නැත. එවිට එස්තර්, ඈට මෙහෙකරන පිණිස රජු විසින් පත් කරන ලද නපුංසකයන්ගෙන් එක් කෙනෙකු වන හාතාක් කැඳවා, කාරණාව කුමක් ද කියාත්, ඔහු මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ මන්ද කියාත් ගොස් මොර්දෙකයිගෙන් දැනගන්නට අණ කළා ය. හාතාක් ද අගනුවර රජ වාසල ඉදිරිපිට තිබුණු වීදියේ සිටි මොර්දෙකයි ළඟට ගියේ ය. එවිට මොර්දෙකයි තමාට සිදු වූ සියල්ලත්, ජුදෙව්වරුන් නැති කරන පිණිස හාමාන් රාජ භාණ්ඩාගාරයට ගෙවන්නට පොරොන්දු වූ මුළු මුදල් ගණනත් ඔහුට දැන්වී ය. තවද, ඔවුන් විනාශ කරන්නට සූසාහි දී දුන් නියෝග පත්‍රයේ පිටපත එස්තර්ට පෙන්වා දන්වන පිණිස ඔහුට දී, ඈ රජු ළඟට ගොස් ඔහුට කන්නලව් කර ඇගේ සෙනඟ උදෙසා ඔහුගෙන් කරුණාව ඉල්ලන පිණිස ඈට අණ කරන බව ද ඔහුට කීයේ ය. හාතාක් අවුත් මොර්දෙකයි කී දේ එස්තර්ට දැන්වී ය. එකල එස්තර් හාතාක්ට කතා කොට, මොර්දෙකයි වෙත ගෙන යන පිණිස පණිවුඩයක් දෙමින් මෙසේ කීවා ය: “කැඳවනු නොලැබ ඇතුළු මළුවේ රජු වෙත පැමිණෙන ස්ත්‍රී-පුරුෂ කවරෙක් හෝ වේවා නීතිය අනුව මරණයට පත් කළ යුතු බව රජුගේ සියලු සේවකයෝ ද රජුගේ සියලු ප්‍රදේශවල සෙනඟ ද දනිති. ඒ නීතිය බල නොපාන්නේ, යමෙකු දෙසට රජු රන් ජයකොන්තය දිගු කළොත් ඒ අයට පමණකි. එහෙත්, රජු වෙත පැමිණෙන්නට කැඳවීමක් දැනට තිස් දවසකින් මට ලැබී නැත.”
එස්තර් 4:1-11 New International Version (NIV)
When Mordecai learned of all that had been done, he tore his clothes, put on sackcloth and ashes, and went out into the city, wailing loudly and bitterly. But he went only as far as the king’s gate, because no one clothed in sackcloth was allowed to enter it. In every province to which the edict and order of the king came, there was great mourning among the Jews, with fasting, weeping and wailing. Many lay in sackcloth and ashes. When Esther’s eunuchs and female attendants came and told her about Mordecai, she was in great distress. She sent clothes for him to put on instead of his sackcloth, but he would not accept them. Then Esther summoned Hathak, one of the king’s eunuchs assigned to attend her, and ordered him to find out what was troubling Mordecai and why. So Hathak went out to Mordecai in the open square of the city in front of the king’s gate. Mordecai told him everything that had happened to him, including the exact amount of money Haman had promised to pay into the royal treasury for the destruction of the Jews. He also gave him a copy of the text of the edict for their annihilation, which had been published in Susa, to show to Esther and explain it to her, and he told him to instruct her to go into the king’s presence to beg for mercy and plead with him for her people. Hathak went back and reported to Esther what Mordecai had said. Then she instructed him to say to Mordecai, “All the king’s officials and the people of the royal provinces know that for any man or woman who approaches the king in the inner court without being summoned the king has but one law: that they be put to death unless the king extends the gold scepter to them and spares their lives. But thirty days have passed since I was called to go to the king.”