එස්තර් 2:8-11

එස්තර් 2:8-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)

රජුගේ විධානය හා නියෝගය, නිවේදන කරනු ලැබූ කල, යෞවනියන් බොහෝ දෙනෙක් ෂූෂන් බළකොටුවට ගෙනෙනු ලැබ, හේගයිගේ රැකවරණ යටතට පත් කරන ලදහ. එස්තර් ද රජුගේ මාලිගයට ගෙනෙනු ලැබ, කාන්තාවන් බාරකාර හේගයිගේ බාරකාරත්වයට පත් කරන ලද්දී ය. තරුණිය ඔහු ප්‍රසන්න කර, ඔහුගේ ප්‍රසාදය දිනා ගත්තා ය. ඔහු නොපමාව ඇගේ රූපලාවණ්‍ය කටයුතු හා ඇගේ ආහාර සලාකය ද ඇයට ලැබෙන්නට සැලසී ය. ඇගේ ආවතේව සඳහා රාජ මාලිගයේ පරිවාර ළඳුන් හත්දෙනකු පත් කළ ඔහු, අන්තඃපුරය තුළ වූ හොඳ ම තැනක් වෙන් කොට, ඇය ද ඇගේ පරිවාර ළඳුන් ද එහි යැවී ය. එස්තර්, තම ජාතිකත්වය හා පවුල් පසුබිම ගැන හෙළි කොට තිබුණේ නැත. ඒ කරුණු හෙළි නො කරන ලෙස මොර්දෙකයි ඇයට අණ කොට තිබිණි. එස්තර්ට කෙසේ ද, ඇයට කුමක් වන්නේ දැයි දැනගනු පිණිස, මොර්දෙකයි හැම දවසක ම අන්තඃපුර මිදුල අසල ඔබ මොබ ඇවිද්දේ ය.

එස්තර් 2:8-11 Sinhala Revised Old Version (SROV)

තවද රජුගේ ආඥාවත් නියෝගයත් සැලවූ කල්හි බොහෝ තරුණියන් ෂූෂන් බලකොටුවට හෙගයිගේ රැකවරණයට රැස්වෙද්දී, එස්තර්ද රජගෙට, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට, ගෙනෙනලද්දීය. තරුණීද ඔහුට ප්‍රියවී ඔහුගෙන් කරුණාව ලැබුවාය; ඔහු ඉක්මන්කර ඇගේ පවිත්‍රවීම සඳහා දේවල්ද ඇගේ ආහාර කොටසද දුන්නේය; ඈට දීමට සුදුසුවූ, රජ ගෙදරින් තෝරනලද තරුණියන් සත්දෙනෙක්ද ඈටදී, ඈ සහ ඇගේ වැඩකාරියන් ස්ත්‍රීන්ගේ ගෙයි ඉතා හොඳ ස්ථානයට පැමිණෙවුවේය. එස්තර් තොමෝ ඇගේ ජාතියවත් ඇගේ සෙනඟවත් එළිදරව් නොකළාය; මක්නිසාද එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණකර තිබුණේය. මොර්දෙකයි වනාහි එස්තර්ගේ ශුභසිද්ධියත් ඈට මක්වේද කියාත් දැනගන්න පිණිස ස්ත්‍රීන්ගේ ගෙයි මිදුල ඉස්සරහපිට දවස්පතා ඇවිද්දේය.

එස්තර් 2:8-11 Sinhala New Revised Version (NRSV)

රජුගේ ආඥාවත්, නියෝගයත් පළ කරනු ලැබූ කල්හි, බොහෝ කාන්තාවන් හෙගයිගේ රැකවරණය යටතේ තබන්නට සූසා අගනුවරට ගෙනෙනු ලැබූ විට, එස්තර් ද රජ මාලිගාවේ ස්ත්‍රීන්ගේ රැකවලා වන හෙගයිගේ රැකවරණයට ගෙනෙන ලද්දී ය. ඒ තරුණිය ද හෙගයිට ප්‍රිය වී ඔහුගෙන් කරුණාව ලැබුවා ය. ඔහු විගස සුවඳ විලවුන් ද ඇගේ ආහාර කොටස ද රජ මාලිගාවෙත් විශේෂයෙන් තෝරාගත් තරුණයන් සත්දෙනෙකු ද ඈට දී ඈට සහ ඇගේ මෙහෙකාරියන්ට අන්තඃපුරයේ ඉතා ම හොඳ කොටෙසහි ලැගුම් දුන්නේ ය. එස්තර් තොමෝ ඇගේ ජාතිය කුමක් ද කියාවත්, ඇගේ සෙනඟ කවුරු ද කියාවත් එළිදරව් නොකළා ය. මන්ද, ඒවා එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණ කර තිබුණේ ය. එස්තර්ගේ සැපසනීප කෙසේ ද කියාත්, ඈට කුමක් සිදු වේ ද කියාත් දැනගන්න පිණිස මොර්දෙකයි අන්තඃපුරයේ මළුව ඉදිරියේ දිනපතා ඔබමොබ ­සක්මන් කෙළේ ය.