එස්තර් 2:7-18

එස්තර් 2:7-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මොර්දෙකයි ඔහුගේ මාමාගේ දියණිය වූ හදස්සා එනම් එස්තර් හදා-වඩා ගත්තේ ය. මන්ද ඇයට පියාවත්, මවවත් සිටියේ නැත. මෙම යෞවනිය, අඟ පසඟින් ද රූ සිරියෙන් ද සොබමන් තැනැත්තියක් වූවා ය. ඇගේ පියාත්, මවත් මළ පසු, මොර්දෙකයි ඇය තමාගේ ම දියණියක කොට ගෙන තිබිණි. රජුගේ විධානය හා නියෝගය, නිවේදන කරනු ලැබූ කල, යෞවනියන් බොහෝ දෙනෙක් ෂූෂන් බළකොටුවට ගෙනෙනු ලැබ, හේගයිගේ රැකවරණ යටතට පත් කරන ලදහ. එස්තර් ද රජුගේ මාලිගයට ගෙනෙනු ලැබ, කාන්තාවන් බාරකාර හේගයිගේ බාරකාරත්වයට පත් කරන ලද්දී ය. තරුණිය ඔහු ප්‍රසන්න කර, ඔහුගේ ප්‍රසාදය දිනා ගත්තා ය. ඔහු නොපමාව ඇගේ රූපලාවණ්‍ය කටයුතු හා ඇගේ ආහාර සලාකය ද ඇයට ලැබෙන්නට සැලසී ය. ඇගේ ආවතේව සඳහා රාජ මාලිගයේ පරිවාර ළඳුන් හත්දෙනකු පත් කළ ඔහු, අන්තඃපුරය තුළ වූ හොඳ ම තැනක් වෙන් කොට, ඇය ද ඇගේ පරිවාර ළඳුන් ද එහි යැවී ය. එස්තර්, තම ජාතිකත්වය හා පවුල් පසුබිම ගැන හෙළි කොට තිබුණේ නැත. ඒ කරුණු හෙළි නො කරන ලෙස මොර්දෙකයි ඇයට අණ කොට තිබිණි. එස්තර්ට කෙසේ ද, ඇයට කුමක් වන්නේ දැයි දැනගනු පිණිස, මොර්දෙකයි හැම දවසක ම අන්තඃපුර මිදුල අසල ඔබ මොබ ඇවිද්දේ ය. තරුණියක, අහෂ්වේරොෂ් රජු හමුවට පිවිසීමේ වාරය ලබන්නට පළමු, ඇය පුරා දොළොස් මසක් කාන්තාවනට නියමිත රූපලාවණ්‍ය සත්කාරය ද හය මසක් සුවඳලාටු තෙල් ගැල්වීම ද හය මසක් සුවඳ පැන් හා සුවඳ විලේපන ආලේපය ද යන පිළිවෙත සම්පූර්ණ කළ යුතු විය. ඇය රජු වෙත යා යුතු වූයේ මෙසේ ය: අන්තඃපුරයෙන් ඇය කැමති කවර දෙයක් වුව රජ මැදුරට ගෙන යන්නට ඇයට අවසර ලැබේ. සවස් කල රජු වෙත එහි යන ඇය පසු දා උදෑසන අන්තඃපුරයේ වෙනත් කොටසකට යන්නී ය. එහිදී ඈ රජුගේ අතිරේක භාර්යාවන් බාර නපුංසක නිලධාරී ෂාෂ්ගාස්ගේ බාරකාරත්වයට පත් වන්නී ය. රජු ඇය කෙරේ ප්‍රසන්න වී, ඇගේ නම කියා කැඳවූවොත් මිස, යළිත් ඈ රජු වෙත නො යන්නී ය. මොර්දෙකයිගේ මාමා වූ අබිහයිල්ගේ දියණිය, තම දියණිය සේ හැදූ-වැඩූ යෞවනිය, එස්තර්ට රජු වෙත යාමේ වාරය එළැඹුණු කල ඈ, රජුගේ අන්තඃපුර බාර නපුංසක නිලධාරී හේගයි උපදෙස් දෙන ලද දෑ හැර අන් කිසිවක් නො ඉල්ලුවා ය. තවද එස්තර්, ඇය දුටු හැම කෙනකුගේ ම ප්‍රසාදය දිනා ගත්තා ය. රජුගේ රාජත්වයේ හත් වන වසරේ, දස වන මස වන ටේබෙත් නම් වූ මස එස්තර්, අහෂ්වේරොෂ් රජු වෙත, රජුගේ මන්දිරය වෙත ගෙන යන ලද්දී ය. රජුගේ සිත සෙසු අන් හැම ළඳකට ම වඩා, එස්තර් වෙත ඇදී ගියේ ය. සෙසු කන්‍යාවන් කවරකුටත් වඩා, රජුගේ ප්‍රසාදය හා මනාපය එස්තර් දිනා ගත්තා ය. එබැවින් ඔහු ඇගේ හිසේ රාජකීය ඔටුන්න පලඳා, වෂ්තී වෙනුවට ඇය තම බිසව කර ගත්තේ ය. රජු තමාගේ සියලු අධිපතීන්ටත්, නිලධාරීන්ටත් මහා ප්‍රිය සාදයක් පැවැත්වී ය. එය එස්තර්ගේ ප්‍රිය සාදය විය; ප්‍රාන්ත රාජ්‍යයන් පුරා නිවාඩු දවසක් ප්‍රකාශයට පත් කළ හෙතෙම, රාජකීය ත්‍යාගවත්කමින් තෑගි බෙදා දුන්නේ ය.

එස්තර් 2:7-18 Sinhala Revised Old Version (SROV)

ඔහු තමාගේ බාප්පාගේ දුවවූ හදස්සා එනම් එස්තර් ඇතිකරගත්තේය. මක්නිසාද ඇගේ පියාවත් මවුවත් ජීවත්ව සිටියේ නැත, ඈ වනාහි ශෝභනවූ රූපසම්පන්න තැනැත්තියක් වූවාය; ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකයි ඈ තමාට දුවෙක් කොට පිළිගත්තේය. තවද රජුගේ ආඥාවත් නියෝගයත් සැලවූ කල්හි බොහෝ තරුණියන් ෂූෂන් බලකොටුවට හෙගයිගේ රැකවරණයට රැස්වෙද්දී, එස්තර්ද රජගෙට, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට, ගෙනෙනලද්දීය. තරුණීද ඔහුට ප්‍රියවී ඔහුගෙන් කරුණාව ලැබුවාය; ඔහු ඉක්මන්කර ඇගේ පවිත්‍රවීම සඳහා දේවල්ද ඇගේ ආහාර කොටසද දුන්නේය; ඈට දීමට සුදුසුවූ, රජ ගෙදරින් තෝරනලද තරුණියන් සත්දෙනෙක්ද ඈටදී, ඈ සහ ඇගේ වැඩකාරියන් ස්ත්‍රීන්ගේ ගෙයි ඉතා හොඳ ස්ථානයට පැමිණෙවුවේය. එස්තර් තොමෝ ඇගේ ජාතියවත් ඇගේ සෙනඟවත් එළිදරව් නොකළාය; මක්නිසාද එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණකර තිබුණේය. මොර්දෙකයි වනාහි එස්තර්ගේ ශුභසිද්ධියත් ඈට මක්වේද කියාත් දැනගන්න පිණිස ස්ත්‍රීන්ගේ ගෙයි මිදුල ඉස්සරහපිට දවස්පතා ඇවිද්දේය. එක එක තරුණිය ස්ත්‍රීන්ගේ නියෝගය ප්‍රකාරයට දොළොස් මාසයක් වන ඔවුන්ගේ පවිත්‍රවීමේ කාලයෙන් පසු, එනම් සුවඳලාටු තෙල් සමසක්ද සුගන්ධ ද්‍රව්‍ය සහ ස්ත්‍රීන්ගේ පවිත්‍රවීමේ තෛල සමසක්ද පාවිච්චිකළායින් පසු, අහෂ්වේරොෂ් රජු ළඟට යන්ට ඒ ඒ තැනැත්තියගේ වාරය පැමුණුණාම, ඈ රජු ළඟට පැමුණුණේ මෙසේය, එනම් ස්ත්‍රීන්ගේ ගෙයින් ඈ සමඟ ගෙනයන පිණිස ඈ ඉල්ලූ කොයි දෙයක් වුවත් ඈට දෙනලද්දේය. ඈ සවස ගොස් පසුවදා ස්ත්‍රීන්ගේ දෙවෙනි ගෙට, රජුගේ නපුංසකයාවූ උප භාර්යාවන්ගේ රැකවලාවූ ෂයෂ්ගාස්ගේ රැකවරණයට, හැරී ආවාය. රජු ඈට ප්‍රියව නම කියා ඈට අඬගැසුවොත් මිස නැත්නම් ඈ රජු ළඟට තවත් පැමුණුණේ නැත. මොර්දෙකයි විසින් දුවකොට හදාගත්තාවූ, තමාගේ බාප්පා වන අබිහයිල්ගේ දූවූ එස්තර්ට රජු ළඟට යාමට වාරය පැමුණුණ විට රජුගේ නපුංසකයාවූ, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයි නියමකළ දේ හැර ඈ වෙන කිසිවක් නොඉල්ලුවාය. එස්තර් දුටු සියල්ලෝ ඈට ප්‍රියවුණෝය. මෙසේ එස්තර් තොමෝ අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ සත්වෙනි අවුරුද්දේ තේබෙත් නම් දසවෙනි මාසයේදී රජගෙට රජු වෙතට ගෙනයනු ලැබුවාය. රජද සියලුම ස්ත්‍රීන්ට වඩා එස්තර්ට ආදරේවී, සියලු කන්‍යාවන්ට වඩා ඈට කරුණාවද ආදරයද පෙන්වා, ඇගේ හිසේ රාජ ඔටුන්න තබා, වස්තී වෙනුවට ඇය බිසව කරගත්තේය. රජ තමාගේ සියලු අධිපතීන් හා සේවකයන්ට එස්තර්ගේ මංගල්‍යය වන මහත් මංගල්‍ය කෑමක් පිළියෙළකර දුන්නේය; රටවලට නිදහසක්ද දී රජුගේ ත්‍යාගවත්කම ලෙස තෑගි දුන්නේය.

එස්තර් 2:7-18 Sinhala New Revised Version (NRSV)

ඔහු තමාගේ බාප්පාගේ දුව වන හදස්සා එනම්, එස්තර් දරුකමට හදාගත්තේ ය. මන්ද, ඇගේ පියා වත්, මවු වත් ජීවත් ව සිටියේ නැත. ඈ වනාහි ශෝභන, රූපසම්පන්න තැනැත්තියක් වූවා ය. ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකයි ඈ තමාගේ දුවක වශයෙන් හදාගත්තේ ය. රජුගේ ආඥාවත්, නියෝගයත් පළ කරනු ලැබූ කල්හි, බොහෝ කාන්තාවන් හෙගයිගේ රැකවරණය යටතේ තබන්නට සූසා අගනුවරට ගෙනෙනු ලැබූ විට, එස්තර් ද රජ මාලිගාවේ ස්ත්‍රීන්ගේ රැකවලා වන හෙගයිගේ රැකවරණයට ගෙනෙන ලද්දී ය. ඒ තරුණිය ද හෙගයිට ප්‍රිය වී ඔහුගෙන් කරුණාව ලැබුවා ය. ඔහු විගස සුවඳ විලවුන් ද ඇගේ ආහාර කොටස ද රජ මාලිගාවෙත් විශේෂයෙන් තෝරාගත් තරුණයන් සත්දෙනෙකු ද ඈට දී ඈට සහ ඇගේ මෙහෙකාරියන්ට අන්තඃපුරයේ ඉතා ම හොඳ කොටෙසහි ලැගුම් දුන්නේ ය. එස්තර් තොමෝ ඇගේ ජාතිය කුමක් ද කියාවත්, ඇගේ සෙනඟ කවුරු ද කියාවත් එළිදරව් නොකළා ය. මන්ද, ඒවා එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණ කර තිබුණේ ය. එස්තර්ගේ සැපසනීප කෙසේ ද කියාත්, ඈට කුමක් සිදු වේ ද කියාත් දැනගන්න පිණිස මොර්දෙකයි අන්තඃපුරයේ මළුව ඉදිරියේ දිනපතා ඔබමොබ ­සක්මන් කෙළේ ය. ස්ත්‍රීන්ට සූදානම් වීමට නියමිත මුළු කාලය දොළොස් මාසයක් විය. ඒ කාලයේ දී සුවඳලාටු තෙල් හය මාසයක් ද සුගන්ධ ද්‍රව්‍ය සහ ස්ත්‍රීන්ගේ රූපලාවණ්‍යය සඳහා තෛලය හය මාසයක් ද පාවිච්චි කරන ලදී. මේ කාලය සම්පූර්ණ වූ පසු ඔවුන්ට අහෂ්වේරොෂ් රජු ළඟට යන්නට වාරය පැමිණියේ ය. තරුණියක රජු ළඟට යන විට, අන්තඃපුරයෙන් තමා කැමැති දෙයක් ගෙන යන පිණිස ඈට අවසර තිබිණි. ඈ සවස ගොස් පසු දා උදේ රජුගේ නපුංසකයා වන, උපභාර්යාවන්ගේ රැකවලා වූ ෂයෂ්ගාස්ගේ රැකවරණයට භාර වන පිණිස දෙ වන අන්තඃපුරයට යන්නී ය. රජ ඈට ප්‍රිය වී නම්, ඇගේ නම කියා ඈට අඬගැසුවොත් මිස ඈ රජු ළඟට තවත් පැමිණියේ නැත. මොර්දෙකයි දුව වශයෙන් හදාගත්, ඔහුගේ බාප්පා වන අබිහයිල්ගේ දූ වූ එස්තර්ට රජු ළඟට යාමට වාරය පැමිණි විට, රජුගේ නපුංසකයා වන, ස්ත්‍රීන්ගේ රැකවලා වූ හෙගයි නියම කළ දේ හැර ඈ වෙන කිසිවක් නොඉල්ලුවා ය. එස්තර් දුටු සියල්ලෝ ඈට ප්‍රිය වූ හ. මෙසේ එස්තර් තොමෝ අහෂ්වේරොෂ් රජුගේ රජකම් කිරීමේ සත් වන අවුරුද්දේ තේබෙත් නම් දස වන මාසයේ දී රජ මැදුරට රජු වෙත ගෙනයනු ලැබුවා ය. රජ ද සියලු ම ස්ත්‍රීන්ට වඩා එස්තර්ට පෙම් කොට, සියලු කන්‍යාවන්ට වඩා ඈට කරුණාව ද ආදරය ද පෙන්වා, ඇගේ හිසේ රාජ කිරීටය තබා, වස්තී බිසව වෙනුවට ඇය බිසව කරගත්තේ ය. රජ තමාගේ සියලු අධිපතීන්ට හා සේවකයන්ට මහා මංගල්‍ය භෝජනයක් පිළියෙළ කර දුන්නේ ය. එය එස්තර්ට උපහාර දැක්වීමේ මංගල්‍යයකි. රජ සියලු ප්‍රදේශවල නිවාඩු දිනයක් පළ කර, රජ කෙනෙකුට ඔබින ලෙස තෑගි බෙදා දුන්නේ ය.

එස්තර් 2:7-18 New International Version (NIV)

Mordecai had a cousin named Hadassah, whom he had brought up because she had neither father nor mother. This young woman, who was also known as Esther, had a lovely figure and was beautiful. Mordecai had taken her as his own daughter when her father and mother died. When the king’s order and edict had been proclaimed, many young women were brought to the citadel of Susa and put under the care of Hegai. Esther also was taken to the king’s palace and entrusted to Hegai, who had charge of the harem. She pleased him and won his favor. Immediately he provided her with her beauty treatments and special food. He assigned to her seven female attendants selected from the king’s palace and moved her and her attendants into the best place in the harem. Esther had not revealed her nationality and family background, because Mordecai had forbidden her to do so. Every day he walked back and forth near the courtyard of the harem to find out how Esther was and what was happening to her. Before a young woman’s turn came to go in to King Xerxes, she had to complete twelve months of beauty treatments prescribed for the women, six months with oil of myrrh and six with perfumes and cosmetics. And this is how she would go to the king: Anything she wanted was given her to take with her from the harem to the king’s palace. In the evening she would go there and in the morning return to another part of the harem to the care of Shaashgaz, the king’s eunuch who was in charge of the concubines. She would not return to the king unless he was pleased with her and summoned her by name. When the turn came for Esther (the young woman Mordecai had adopted, the daughter of his uncle Abihail) to go to the king, she asked for nothing other than what Hegai, the king’s eunuch who was in charge of the harem, suggested. And Esther won the favor of everyone who saw her. She was taken to King Xerxes in the royal residence in the tenth month, the month of Tebeth, in the seventh year of his reign. Now the king was attracted to Esther more than to any of the other women, and she won his favor and approval more than any of the other virgins. So he set a royal crown on her head and made her queen instead of Vashti. And the king gave a great banquet, Esther’s banquet, for all his nobles and officials. He proclaimed a holiday throughout the provinces and distributed gifts with royal liberality.