එස්තර් 2:1-4

එස්තර් 2:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මින් අනතුරුව, අහෂ්වේරොෂ් රජුගේ කෝපය සංසිඳී ගිය කල ඔහු වෂ්තී ගැනත්, ඇය කර තිබූ දේ ගැනත්, ඇයට එරෙහිව පනවා තිබූ නියෝගය ගැනත් සිත් යොමු කළේ ය. එවිට රජුට මෙහෙවර කළ පරිවාරකයෝ රජුට කතා කරමින්, “රජු උදෙසා රූමත් තරුණ කන්‍යාවන් සොයන්නට කටයුතු කෙරේවා! ඒ සියලු රූමත් යොවුන් කන්‍යා ළඳුන් බළකොටු නුවර වූ ෂූෂන්හි අන්තඃපුරය වෙත ගෙන ඒමට, රජු තම රාජධානියේ හැම ප්‍රාන්තයකට ම නිලධාරීන් පත් කෙරේවා. මෙම ළඳුන්, රජුගේ කාන්තාවන් බාර ව සිටින නපුංසක නිලධාරී හේගයිගේ බාරකාරත්වයට පත් කෙරේවා; එම ළඳුනට රූපලාවණ්‍ය සත්කාර කරනු ලැබේවා! ඉන්පසු රජු ප්‍රසන්න කරවන යෞවනිය, වෂ්තී වෙනුවට බිසෝකමට පත් කෙරේවා!” යි පැවසූහ. මෙම උපදෙස රජුට ප්‍රසන්න වූයෙන්, ඔහු ඒ අනුව ක්‍රියා කළේ ය.

එස්තර් 2:1-4 Sinhala Revised Old Version (SROV)

මේ කාරණාවලට පසු, අහෂ්වේරොෂ්ගේ කෝපය සංසිඳුණු කල්හි, ඔහු වස්තී සහ ඈ කළ දේද ඈට විරුද්ධව කළ නියමයද සිහිකෙළේය. එවිට රජුට සේවයකළ ඔහුගේ මෙහෙකරුවෝ කථාකොට: රූපසම්පන්න කන්‍යා තරුණියන් රජු උදෙසා සොයත්වා. එබඳු රූපසම්පන්න සියලු කන්‍යා තරුණියන් ෂූෂන් බලකොටුවේ තිබෙන ස්ත්‍රීන්ගේ ගෙයි රජ්ජුරුවන්ගේ නපුංසකයාවූ, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට රැස්කරගන එන පිණිස රජ්ජුරුවන් තමාගේ රාජ්‍යයේ සියලු රටවල මුලාදෑනීන් නියමකරන්ටත්, ඒ තැනැත්තියන්ගේ පවිත්‍රවීම පිණිස නිසි දේ ඔවුන්ට දෙන්ටත් යෙදේවා. එවිට රජ්ජුරුවන්ට ප්‍රියව පෙනෙන තරුණිය වස්තී වෙනුවට බිසෝ වේවායි කීවෝය. ඒ කාරණාවට රජ ප්‍රසන්නවී එලෙස කෙළේය.

එස්තර් 2:1-4 Sinhala New Revised Version (NRSV)

මේ සිද්ධියට පසු, අහෂ්වේරොෂ්ගේ කෝපය සංසිඳුණු කල්හි, ඔහු වස්තී සහ ඈ කළ දේ ද ඈට විරුද්ධ ව කළ නියමය ද සිහිපත් කෙළේ ය. එවිට රජුට සේවය කළ ඔහුගේ මෙහෙකරුවෝ කතා කොට, “රූපසම්පන්න කන්‍යාවන් රජුට සොයනු මැනව. එබඳු රූපසම්පන්න සියලු කන්‍යාවන් සූසා අගනුවර ඇති අන්තඃපුරයට ගෙනෙනු ලබන පිණිස රාජ්‍යයේ සියලු ප්‍රදේශවල නිලධාරීන්ට රජු විසින් නියම කරනු ලැබේවා. ස්ත්‍රීන් භාර ව සිටින්නා ද රජවරුන්ගේ නපුංසකයා ද වන හෙගයිගේ රැකවරණයට ඔවුන් භාර කරනු මැනව. ඒ කාන්තාවන්ට ඔවුන්ගේ රූපලාවණ්‍යය සඳහා අවශ්‍ය දේ සපයා දෙනු මැනව. එවිට රජ්ජුරුවන්ට ප්‍රිය ව පෙනෙන තරුණිය වස්තී වෙනුවට බිසෝ වේවා”යි කී හ. රජ මෙයට ප්‍රසන්න වී එලෙස කෙළේ ය.