ධර්මදේශකයා 11:7-10

ධර්මදේශකයා 11:7-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ආලෝකය මිහිරි ය; හිරු දැකීම ඇස්වලට ප්‍රසන්න ය. එබැවින් කෙනකු ජීවත් වන බොහෝ වූ අවුරුදුවල ඔහු ඒ මුළු කාලය ම ප්‍රීතියෙන් ගත කරත්වා; අන්ධකාරයේ දවස් ගැන ඔහු සිත් යොමු කරත්වා; මන්ද ඒවා ද බොහෝ වනු ඇත. පැමිණෙන හැම දෙයක් ම නිරර්ථක ය. එම්බා යෞවනය, ඔබේ යෞවනයෙහි ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්හි දී ඔබේ හදවත ඔබට ප්‍රීතිය ගෙන දේවා. ඔබේ හදට රිසි මගෙහි, ඔබේ ඇසට ප්‍රිය පරිදි කටයුතු කරන්න; එහෙත් දෙවියන්වහන්සේ මේ සියල්ලෙහි දී ඔබ විනිශ්චයට ගෙනෙන වග මතක තබා ගන්න. එබැවින් කනස්සල්ල ඔබේ හදින් පලවා හැර, ඔබේ ගතේ කරදර ඉවත හෙළන්න; මන්ද යෞවනයත්, ශක්තියත් නිරර්ථක ය.

ධර්මදේශකයා 11:7-10 Sinhala Revised Old Version (SROV)

සැබවින් එළිය මිහිරිය, ඉර දැකීම ඇස් වලට ප්‍රසන්න දෙයක්ය. එසේය, මනුෂ්‍යයෙක් බොහෝ අවුරුදු ජීවත්ව සිටියොත් ඔහු ඒ සියල්ලෙහි ප්‍රීතිවේවා; එහෙත් ඔහු අඳුරු දවස් සිහිකෙරේවා, මක්නිසාද ඒවා බොහෝ වන්නේය. පැමිණෙන සියල්ලම නිෂ්ඵලකමක්ය. තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂකෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න. එසේ නුඹේ සිතෙන් ශෝකය පහකර නුඹේ මාංසයෙන් දුක දුරුකරන්න. මක්නිසාද යෞවන කාලයත් පුරුෂ අවස්ථාවත් නිෂ්ඵලකමය.