දානියෙල් 6:19-22

දානියෙල් 6:19-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අරුණ උදයේ එළිය වැටීගෙන එද්දී නැගිටුණු රජ සිංහයන්ගේ ගුහාව වෙත කඩිනමින් ගියේ ය. දානියෙල් සිටි ගුහාව අසලට පැමිණි රජු, බිඳුණු හඬින් දානියෙල්ට හඬ ගසමින්, “එම්බා දානියෙල්, ජීවමාන දෙවියන්වහන්සේගේ සේවකය, සිංහයින්ගෙන් ඔබ ගලවා ගැනීමට නිති පතා ඔබ සේවය කරන ඔබේ දෙවියන්වහන්සේට පුළුවන් වුණාදැ?” යි ඇසී ය. දානියෙල් පිළිතුරු දෙමින්, “අහෝ රජතුමා සැම කල් දිනේවා! මගේ දෙවියන්වහන්සේ ස්වකීය දූතයා එවා සිංහයින්ගේ කටවල් පිය වූ සේක. උන් මට අනතුරක් කළේ නැත. මන්ද උන්වහන්සේගේ ඇස් හමුවේ මා නිදොස් වග පෙනී ගොස් ඇති බැවිනි. ඒ ඇරත්, අහෝ රජතුමනි, ඔබ හමුවේත් කිසි කලෙක මම වරදක් නො කළෙමි” යි කීවේ ය.

දානියෙල් 6:19-22 Sinhala Revised Old Version (SROV)

රජ අති උදය නැගිට, සිංහ ගුහාව ළඟට ඉක්මන්කර ගියේය. ඔහු ගුහාවට ළංවෙන කොටම, ශෝක හඬකින් දානියෙල්ට මොරගැසුවේය. රජතෙමේ දානියෙල්ට කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ දානියෙල්, නුඹ නොකඩවම සේවයකරන නුඹේ දෙවියන්වහන්සේට සිංහයන්ගෙන් නුඹ ගළවන්ට පුළුවන්වීදැයි ඇසුවේය. එවිට දානියෙල් රජුට කථාකොට: රජ්ජුරුවෙනි, ඔබ සදාකාලයටම ජීවත්වේවා. මාගේ දෙවියන්වහන්සේ තමන්ගේ දූතයා එවා, සිංහයන් මට අනතුරු නොකරන හැටියට උන්ගේ කටවල් පියෙවූසේක. මක්නිසාද උන්වහන්සේ ඉදිරියෙහි මා තුළ නිදොස්කම තිබුණේය; ඇරත් රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියේද මම කිසිවරදක් නොකෙළෙමියි කීවේය.

දානියෙල් 6:19-22 Sinhala New Revised Version (NRSV)

උදේ පාන්දරින් එළිය වැටීගෙන එද්දී ම ඔහු නැඟිට සිංහ ගුහාව ළඟට යුහු යුහු ව ගියේ ය. දානියෙල් සිටි සිංහ ගුහාවට ඔහු ළං වෙත් ම, ඔහු සංවේගජනක හඬකින් මොරගසා, “ජීවමාන දෙවියන් වහන්සේගේ මෙහෙකරු වන දානියෙල්, ඔබ නොකඩවා ම නමස්කාර කරන ඔබේ දෙවියන් වහන්සේට සිංහයන්ගෙන් ඔබ ගළවාගන්නට පුළුවන් වී දැ”යි ඇසුවේ ය. එවිට දානියෙල් මෙසේ පිළිතුරු දුන්නේ ය: “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! මාගේ දෙවියන් වහන්සේ තමන්ගේ දූතයන් එවා සිංහයන්ගේ කටවල් පියෙ වූ සේක. එබැවින් උන්ගෙන් මට කිසි අනතුරක් නො වී ය. මාගේ දෙවියන් වහන්සේ එසේ කෙළේ, උන් වහන්සේ ඉදිරියේ මා නිදොස් කෙනෙකු වන බැවිනි. ඇරත් රජතුමනි, ඔබ ඉදිරියේ ද මා කිසි වරදක් කර නැත.”