දානියෙල් 6:15-22
දානියෙල් 6:15-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එකල කණ්ඩායමක් වශයෙන් යළි රජු හමුවට ආ ඒ මිනිස්සු රජු අමතමින්, “අහෝ රජතුමනි, මෙය සිහි තබා ගන්න. මේදියානු හා පර්සියානුවන්ගේ නීතියට අනුව රජු නිකුත් කරන ආඥාවක් හෝ නියෝගයක් හෝ වෙනස් කළ නො හැකි යැ” යි කීහ. එබැවින් රජු අණ දුන්නේ ය. දානියෙල් ගෙන එනු ලැබ, සිංහයින්ගේ ගුහාවට හෙළා දමනු ලැබී ය. දානියෙල් ඇමතූ රජු, “නිති පතා ඔබ සේවය කළ ඔබේ දෙවියන්වහන්සේ ඔබ ගලවා ගන්නා සේක්වා” යි කීවේ ය. ගලක් ගෙනෙනු ලැබ, ගුහා කට ආවරණ කෙරිණ. දානියෙල් හා අදාළ ව කිසිදු වෙනසක් කළ නො හැකි වන සේ රජු එය තම පේරැස් මුදුවෙන් ද රජුගේ වංශවතුන්ගේ මුදුවලින් ද මුද්‍රා තැබී ය. ඉන්පසු ස්වකීය මාලිගයට ආපසු ගිය රජ, රැය ගත කළේ නිරාහාරයෙනි. කිසි විනෝදයක් ඔහු වෙත නො පමුණු වන ලදී; නින්ද ඔහු වෙතින් පලා ගියේ ය. අරුණ උදයේ එළිය වැටීගෙන එද්දී නැගිටුණු රජ සිංහයන්ගේ ගුහාව වෙත කඩිනමින් ගියේ ය. දානියෙල් සිටි ගුහාව අසලට පැමිණි රජු, බිඳුණු හඬින් දානියෙල්ට හඬ ගසමින්, “එම්බා දානියෙල්, ජීවමාන දෙවියන්වහන්සේගේ සේවකය, සිංහයින්ගෙන් ඔබ ගලවා ගැනීමට නිති පතා ඔබ සේවය කරන ඔබේ දෙවියන්වහන්සේට පුළුවන් වුණාදැ?” යි ඇසී ය. දානියෙල් පිළිතුරු දෙමින්, “අහෝ රජතුමා සැම කල් දිනේවා! මගේ දෙවියන්වහන්සේ ස්වකීය දූතයා එවා සිංහයින්ගේ කටවල් පිය වූ සේක. උන් මට අනතුරක් කළේ නැත. මන්ද උන්වහන්සේගේ ඇස් හමුවේ මා නිදොස් වග පෙනී ගොස් ඇති බැවිනි. ඒ ඇරත්, අහෝ රජතුමනි, ඔබ හමුවේත් කිසි කලෙක මම වරදක් නො කළෙමි” යි කීවේ ය.
දානියෙල් 6:15-22 Sinhala Revised Old Version (SROV)
එකල ඒ මනුෂ්‍යයෝ රජු වෙතට වැඳ: රජ්ජුරුවෙනි, රජු විසින් නියමකරන කිසි තහනමක්වත් නියෝගයක්වත් වෙනස් නොකරන හැටියට මේදවරුන්ගේද පර්සිවරුන්ගේද පනතක් තිබෙන බව දැනගත මැනවැයි රජුට කීවෝය. එවිට රජුගේ ආඥාව පිට දානියෙල් ගෙනැවිත්, සිංහ ගුහාවේ දැමුවෝය. රජ දානියෙල්ට කථාකොට: නුඹ නොකඩවම සේවය කරන නුඹේ දෙවියන්වහන්සේ නුඹ ගළවනසේක්වයි කීවේය. තවද ගලක් ගෙනැවිත් ගුහාවේ කටේ තබනලද්දේය; දානියෙල් ගැන නියමය වෙනස්නොවන පිණිස රජ තමාගේ මුද්‍රයෙන්ද තමාගේ උත්තමයන්ගේ මුද්‍රයෙන්ද ඒක මුද්‍රකෙළේය. එකල රජ තමාගේ මාළිගාවට ගොස්, නිරාහාරයෙන් රාත්‍රිය පසුකෙළේය. තූර්යභාණ්ඩ ඔහු ඉදිරියට නොගෙනාවෝය. ඔහුගේ නින්දත් ඔහුගෙන් පහවගියේය. රජ අති උදය නැගිට, සිංහ ගුහාව ළඟට ඉක්මන්කර ගියේය. ඔහු ගුහාවට ළංවෙන කොටම, ශෝක හඬකින් දානියෙල්ට මොරගැසුවේය. රජතෙමේ දානියෙල්ට කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ දානියෙල්, නුඹ නොකඩවම සේවයකරන නුඹේ දෙවියන්වහන්සේට සිංහයන්ගෙන් නුඹ ගළවන්ට පුළුවන්වීදැයි ඇසුවේය. එවිට දානියෙල් රජුට කථාකොට: රජ්ජුරුවෙනි, ඔබ සදාකාලයටම ජීවත්වේවා. මාගේ දෙවියන්වහන්සේ තමන්ගේ දූතයා එවා, සිංහයන් මට අනතුරු නොකරන හැටියට උන්ගේ කටවල් පියෙවූසේක. මක්නිසාද උන්වහන්සේ ඉදිරියෙහි මා තුළ නිදොස්කම තිබුණේය; ඇරත් රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියේද මම කිසිවරදක් නොකෙළෙමියි කීවේය.
දානියෙල් 6:15-22 Sinhala New Revised Version (NRSV)
එකල ඒ පිරිස රජු වෙත පැමිණ, “රජතුමනි, මේදවරුන්ගේ ද පර්සිවරුන්ගේ ද නීතිය අනුව රජු විසින් පනවන ලද නියෝගයක් වෙනස් කළ නොහැකි බව ඔබතුමාට මතක් කරනු කැමැත්තෙමු”යි කී හ. එවිට රජතුමා දානියෙල් ගෙනවුත් සිංහ ගුහාවේ දැමීමට නියමයක් කෙළේ ය. එහෙත්, ඔහු දානියෙල්ට කතා කොට, “ඔබ නිරන්තරයෙන් ම නමස්කාර කරන, ඔබේ දෙවියන් වහන්සේ ඔබ ගළවන සේක් වා!”යි කී ය. තවද, දානියෙල් සම්බන්ධයෙන් කරන ලද නියමය වෙනස් නොකළ හැකි වන ලෙස, ගලකින් සිංහ ගුහාවේ කට වසා, එය රාජ මුද්‍රාවෙන් ද උත්තමයන්ගේ මුද්‍රාවලින් ද මුද්‍රා කරනු ලැබී ය. රජතුමා මාලිගාවට ගොස් නිරාහාරයෙන් රාත්‍රිය ගත කෙළේ ය; පුරුදු විනෝද ආස්වාද ද ප්‍රතික්ෂේප කෙළේ ය. ඔහුට කිසි නින්දක් නො වී ය. උදේ පාන්දරින් එළිය වැටීගෙන එද්දී ම ඔහු නැඟිට සිංහ ගුහාව ළඟට යුහු යුහු ව ගියේ ය. දානියෙල් සිටි සිංහ ගුහාවට ඔහු ළං වෙත් ම, ඔහු සංවේගජනක හඬකින් මොරගසා, “ජීවමාන දෙවියන් වහන්සේගේ මෙහෙකරු වන දානියෙල්, ඔබ නොකඩවා ම නමස්කාර කරන ඔබේ දෙවියන් වහන්සේට සිංහයන්ගෙන් ඔබ ගළවාගන්නට පුළුවන් වී දැ”යි ඇසුවේ ය. එවිට දානියෙල් මෙසේ පිළිතුරු දුන්නේ ය: “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! මාගේ දෙවියන් වහන්සේ තමන්ගේ දූතයන් එවා සිංහයන්ගේ කටවල් පියෙ වූ සේක. එබැවින් උන්ගෙන් මට කිසි අනතුරක් නො වී ය. මාගේ දෙවියන් වහන්සේ එසේ කෙළේ, උන් වහන්සේ ඉදිරියේ මා නිදොස් කෙනෙකු වන බැවිනි. ඇරත් රජතුමනි, ඔබ ඉදිරියේ ද මා කිසි වරදක් කර නැත.”
දානියෙල් 6:15-22 New International Version (NIV)
Then the men went as a group to King Darius and said to him, “Remember, Your Majesty, that according to the law of the Medes and Persians no decree or edict that the king issues can be changed.” So the king gave the order, and they brought Daniel and threw him into the lions’ den. The king said to Daniel, “May your God, whom you serve continually, rescue you!” A stone was brought and placed over the mouth of the den, and the king sealed it with his own signet ring and with the rings of his nobles, so that Daniel’s situation might not be changed. Then the king returned to his palace and spent the night without eating and without any entertainment being brought to him. And he could not sleep. At the first light of dawn, the king got up and hurried to the lions’ den. When he came near the den, he called to Daniel in an anguished voice, “Daniel, servant of the living God, has your God, whom you serve continually, been able to rescue you from the lions?” Daniel answered, “May the king live forever! My God sent his angel, and he shut the mouths of the lions. They have not hurt me, because I was found innocent in his sight. Nor have I ever done any wrong before you, Your Majesty.”