දානියෙල් 5:1-29
දානියෙල් 5:1-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බේල්ෂසර් රජු, තම වංශවතුන් දහසකට මහ ප්‍රිය සාදයක් පවත්වා, එම දහස් දෙනා ඉදිරියේ මිදි යුෂ බීවේ ය. මෙසේ මිදි යුෂ තොලගාමින් සිටියදී, බේල්ෂසර් නියෝගයක් කරමින්, තම පියා වන නෙබුකද්නෙසර් විසින් යෙරුසලමෙහි දේව මාලිගයෙන් පැහැර ගෙනවුත් තිබූ රන් හා රිදී බඳුන් ගෙනෙන්නට අණ කළේ ය. ඒ, රජුටත්, ඔහුගේ වංශවතුනටත්, ඔහුගේ බිසවුනට හා ඔහුගේ අතිරේක බිරියනටත් ඒවායින් පානය කරන්නට ය. එබැවින් යෙරුසලමෙහි දෙවියන්වහන්සේගේ ගෘහය වන දේව මාලිගයෙන් ගෙන එනු ලැබූ රන් බඳුන් ඔවුහු ගෙනාවහ. රජු ද ඔහුගේ වංශවත්හු ද ඔහුගේ බිසෝවරු හා ඔහුගේ අතිරේක බිරියෝ ද ඒවායින් පානය කළහ. ඔවුහු මිදි යුෂ බොමින්, රනින් ද රිදීයෙන් ද ලෝකඩයෙන්, යකඩින්, දැවයෙන් හා ගලින් ද කළ දෙවිවරුනට ප්‍රශංසා කළහ. හදිසියේ ම, මිනිස් අතක ඇඟිලි පෙනී, රජ මාලිගයේ පහන් රුක අසල බිත්තියේ හුණු බදාම මත යමක් ලීවේ ය. එම අතින් ලියන අයුරු රජු බලා සිටියේ ය. රජුගේ මුහුණ සුදුමැලි විය; ඔහුගේ සිතුවිලි ඔහු තැති ගැන්වී ය. ඔහුගේ දණහිස් එකටෙක වැදෙමින් ඔහුගේ දෙකකුල් වාරු නැති විය. එවිට රජු මොර ගසා කතා කරමින්, මන්තරකරුවන් ද කල්දිවරයින් හා නක්ෂත්‍රඥයින් ද කැඳවා, බබිලෝනියේ ප්‍රාඥයින්ට කතා කොට, “මේ ලියා ඇති දෑ කියවා, එහි අර්ථය මට කියා දිය හැකි තැනැත්තා රාජකීය දම් පැහැ ඇඳුමින් හඳවනු ලැබ, ගෙල වටා රන් දමක් පලඳවනු ලැබ, රාජ්‍යය පාලනයේ තුන්වැන්නා බවට පත් කෙරේ” යි පැවසී ය. එවිට රජුගේ සියලු ප්‍රාඥයින් පැමිණි නමුදු, ඒ ලියා ඇති දෑ කියවීමට හෝ එහි අර්ථය රජුට කියා දීමට ඔවුනට නො හැකි විය. එබැවින් බේල්ෂසර් රජ වඩ වඩා බය විය. ඔහුගේ මුහුණ වඩාත් සුදුමැලි විය. ඔහුගේ වංශවත්හු ද වියවුල් වූහ. රජුගේ හා ඔහුගේ වංශවතුන්ගේ කතා හඬ අසා, මවු බිසෝ තොමෝ උත්සව ශාලාවට ආවා ය. මව් බිසොව කතා කරමින්, “අහෝ රජතුමා සැම කල් දිනේවා! ඔබේ සිතුවිලිවලින් කැලඹෙන්නවත්, ඔතරම් සුදුමැලි වන්නවත් එපා. ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් තමා තුළ ඇති මනුෂ්‍යයෙක් ඔබේ රාජ්‍යයේ සිටී. ඔබේ පියාණන්ගේ කාලයේ මොහු වෙත තීක්ෂණ බුද්ධියත්, දැන උගත්කමත්, දෙවිවරුන්ගේ බඳු ප්‍රඥාවත් ඇති වග දැන ගත්තා. ඔබේ පියාණන් වූ නෙබුකද්නෙසර් රජ, ඔබේ පියරජතුමා, ඉන්ද්‍රජාලිකයින්ගේ ද මන්ත්‍රකරුවන්ගේ ද කල්දිවරුන්ගේ ද නක්ෂත්‍රඥයින්ගේ ද ප්‍රධානියා කර, ඔහු පත් කළා. රජු විසින් බේල්ටෙෂසර් නමින් හැඳින් වූ මේ මනුෂ්‍යයා, දානියෙල් තියුණු මනසක්, දැනගැන්ම හා වැටහීම ඇත්තකු පමණක් නො ව, සිහින අරුත් පහදා දීමේ ද ප්‍රහේලිකාව බේරුම් කිරීමේ ද අසීරු ගැටලු විසඳීමේ ද සමතෙක්. දානියෙල් කැඳවන්න; මේ ලියා ඇති අකුරුවල අර්ථය ඔහු ඔබට කියා දේවි” යි කීවා ය. එබැවින් රජු ඉදිරියට දානියෙල් කැඳවාගෙන එන ලදී. රජ ඔහු අමතමින්, “මගේ පිය රජු යූදා රටින් ගෙන ආ වහලුන්ගෙන් කෙනකු වන දානියෙල් ඔබ ද? ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් ඔබ තුළ ඇති වගත්, ඔබ තීක්ෂණ බුද්ධියෙන්, දැන උගත්කමින් හා විශිෂ්ට ප්‍රඥාවෙන් යුතු වගත් මට අසන්නට ලැබුණා. මේ ලියා ඇති දෑ කියවා, එහි අර්ථය මට පවසන්නට පඬිවරුන් ද මන්තරකරුවන් ද මා ඉදිරියට පැමිණවූවත් එය පැහැදිලි කිරීමට ඔවුනට බැරි වුණා. එහෙත් ඔබ අර්ථ විවරණයටත්, අසීරු ගැටලු විසඳීමටත් සමත් වග මට අසන්නට ලැබුණා. මේ ලියා ඇති දෑ කියවා, එහි අර්ථය මට කියා දෙන්නටත් ඔබට හැකි නම්, ඔබට රාජකීය දම් පැහැ ඇඳුම් හඳවා, රන් දමක් ගෙල පලඳා රාජ්‍යයේ තුන් වන ශ්‍රේෂ්ඨ පාලකයා බවට ඔබ පත් කෙරෙනු ඇතැ” යි කීවේ ය. එවිට දානියෙල් රජු ඉදිරියේ පිළිතුරු දෙමින්, “ඔබේ තෑගි ඔබ ම තබා ගන්න; ඔබේ දීමනා වෙන කෙනකුට දෙන්න. කෙසේ වෙතත් රජතුමාට මේ ලියා ඇති දෑ කියවා දී, එහි අර්ථය පවසන්නම්. “අහෝ රජ්ජුරුවනි, මහෝත්තම දෙවියන්වහන්සේ ඔබේ පිය රජු වන නෙබුකද්නෙසර්ට රාජ්‍යයත්, ශ්‍රේෂ්ඨත්වයත්, ගෞරවයත්, තේජශ්‍රීයත් දුන් සේක. උන්වහන්සේ ඔහුට දුන් ඒ උත්තම භාවය නිසා සියලු ජනයා, ජාතීන්, ඒ ඒ භාෂා කතා කරන මිනිසුන් යන හැමදෙන ඔහු ඉදිරියේ වෙවුලා සිටියා; ඔහු ඉදිරියේ බය වුණා; රජුට මරා දමන්නට ඕනෑ වූ අය ඔහු මරා දැම්මා; ඉතිරි කිරීමට ඔහුට ඕනෑ වූ අය ඔහු ඉතිරි කළා; උසස් කිරීමට ඔහුට ඕනෑ වූ අය ඔහු උසස් කළා; යටහත් කිරීමට ඔහුට ඕනෑ වූ අය ඔහු යටහත් කළා. එහෙත් ඔහුගේ හද උදාරම් වී, අහංකාරයෙන් දැඩි වූ කල, ඔහුගේ රාජකීය සිංහාසනයෙන් ඔහු පහ කර දමනු ලැබුවා. ඔහුගේ ගෞරවය ද ඔහු වෙතින් ඉවත් කෙරුණා. මිනිස් සමාජයෙන් පලවා හරිනු ලැබ, සතකුගේ මනසක් ඔහුට දෙනු ලැබ, ඔහු වල් බූරුවන් අතරේ වාසය කරමින්, ගවයකු මෙන් තණ කෑවා. මහෝත්තම දෙවියන්වහන්සේ මිනිසුන්ගේ රාජධානිවලට ඉහළින් පරමාධිපති වගත්, උන්වහන්සේ කැමති කවර කෙනකුට වුව, උන්වහන්සේ ඒවා දෙන වගත්, ඔහු ඒත්තු ගන්නා තුරු ඔහුගේ සිරුර අහස් පින්නට තෙමුණා. “එහෙත් එම්බා බේල්ෂසර්, ඔහුගේ පුත්‍රයා වන ඔබ මේ සියල්ල දැන සිටි නමුත්, ඔබේ සිත යටත් කර ගත්තේ නැහැ. ඒ වෙනුවට ඔබ, ස්වර්ගයේ ස්වාමින්වහන්සේට එරෙහිව ඔබ ම උසස් කර ගත්තා. උන්වහන්සේගේ දේව මාලිග භාජන ඔබ වෙත ගෙන්වා ගත්තා. ඔබත්, ඔබේ වංශවතුන්, ඔබේ බිසෝවරුන් හා ඔබේ අතිරේක භාර්යාවන් ඒවායින් මිදි යුෂ බීවා; දකින්නට, අසන්නට හෝ වටහා ගන්නට හෝ බැරි, රිදී, රන්, ලෝකඩ, යකඩ, ලී හා ගල් දෙවිවරුනට ඔබ ප්‍රශංසා කළා. එහෙත් ඔබේ ජීවිතයත්, ඔබේ සියලු මාර්ගත්, තම හස්තයෙහි දරා සිටින දෙවියන්වහන්සේට ඔබ ගෞරව දැක්වූයේ නැහැ. මෙම සටහන ලියූ අත උන්වහන්සේ එවා ඇත්තේ එබැවිනි. “එහි ලියා ඇති සටහන මෙයයි: මෙනේ, මෙනේ, තෙකේල් උපාර්සීන්. “ඒ වචනවල තේරුම මෙයයි: “මෙනේ: දෙවියන්වහන්සේ ඔබේ රාජ්‍ය කාලය ගණන් කොට, එය කෙළවර කර ඇත. “තෙකේල්: තරාදියේ ලා ඔබ කිරනු ලැබ, ඔබේ අඩු බව පෙනී ගොස් ඇත. “පෙරෙස්: ඔබේ රාජ්‍යය බෙදනු ලැබ, මේදියානුවන්ට හා පර්සියානුවන්ට දී තිබේ.” එවිට බේල්ෂසර්ගේ අණ පරිදි, රාජකීය දම් පැහැ ඇඳුමින් දානියෙල් හඳවනු ලැබ, ඔහුගේ ගෙල වටා රන් දමක් පලඳවනු ලැබී ය. ඔහු රාජ්‍යයේ තුන් වන ශ්‍රේෂ්ඨ පාලකයා බවට ප්‍රකාශයට පත් කෙරිණ.
දානියෙල් 5:1-29 Sinhala Revised Old Version (SROV)
බේල්ෂශර් රජ තමාගේ උත්තමයන් දහසකට මහත් මංගල්‍යයක් පිළියෙළකොට, ඒ දහස ඉදිරියෙහි මුද්‍රිකපානය බීවේය. බේල්ෂශර් මුද්‍රිකපානය බොන අතර, යෙරුසලමේ තිබුණු මාළිගාවෙන් තමාගේ පියවූ නෙබුකද්නෙශර් විසින් ගත්තාවූ රන් රිදී භාජනවලින් රජද තමාගේ උත්තමයන්ද තමාගේ භාර්යාවරුන්ද උපභාර්යාවරුන්ද විසින් බොන පිණිස ඒවා ගෙනෙන්ට අණකෙළේය. එවිට ඔව්හු යෙරුසලමේ තිබුණ දෙවියන්වහන්සේගේ ගෘහයේ මාළිගාවෙන් ගත් රන් භාජන ගෙනාවෝය; රජද ඔහුගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් බීවෝය. ඔව්හු මුද්‍රිකපානය බී, රන්ද රිදීද පිත්තලද යකඩද ලීද ගල්ද වූ දෙවිවරුන් වර්ණනාකළෝය. එකෙණෙහිම මනුෂ්‍ය අතක ඇඟිලි පෙනී, පහන්රුක ඉදිරිපිට රාජ මාළිගාවේ භිත්තියේ බදාම පිට ලිවීය. රජතෙමේ ලියන අතේ කොටස දුටුවේය. එකල රජුගේ මුහුණේ පාට වෙනස්විය, ඔහු තමාගේ සිතිවිලිවලින් කැලඹුණේය; ඔහුගේ කටිසන්ධි බුරුල්වී, ඔහුගේ දණහිස් එකිනෙකට වැදුණේය. එවිට රජ අනවිනකාරයන්ද කල්දිවරුන්ද පේනකියන්නන්ද කැඳවාගෙන එන ලෙස මොරගසාකීය. රජතෙමේ බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන්ට කථාකොට: මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වාදෙන කවුරුනුමුත්, රත්නිල් වස්ත්‍රයක් හඳවනු ලැබ, බෙල්ලේ රන්මාලයක්ද දමනු ලැබ, රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයාවන්නේයයි කීවේය. එකල රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ ඇතුල්වූහ. නුමුත් ඒ ලියවිල්ල කියවන්ටවත් එහි අර්ථය රජුට දන්වන්ටවත් ඔවුන්ට පුළුවන් නොවීය. එකල බේල්ෂශර් රජ ඉතා කැලඹී, ඔහුගේ මුහුණේ පාට වෙනස්වුණේය, ඔහුගේ උත්තමයොත් වියවුල්වූහ. රජුගේද ඔහුගේ උත්තමයන්ගේද වචන නිසා බිසව භෝජනශාලාවට ඇතුල්වී කථාකොට: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා; ඔබගේ සිතිවිලි ඔබ නොකලඹාවා, ඔබගේ මුහුණේ පාටද වෙනස් නොවේවා. ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇති මනුෂ්‍යයෙක් ඔබගේ රාජ්‍යයෙහි සිටියි; ඔබගේ පියාණන්ගේ දවස්වලදී ආලෝකයද නුවණද දෙවිවරුන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවද ඔහු තුළ සම්බවිය. ඔබගේ පියවූ නෙබුකද්නෙශර් රජ–ඔබගේ පිය රජ්ජුරුවෝ–ඔහු මන්ත්‍රකාරයන්ටද අනවිනකාරයන්ටද කල්දිවරුන්ටද පේනකියන්නන්ටද ප්‍රධානියා කළේය; මක්නිසාද උතුම් ආත්මයක්ද දැනගැන්මද ස්වප්න තේරුම්කරදීමෙත් තේරවිලි විසදීමෙත් ගැටපද පහදාදීමෙත් ඥානයද රජු විසින් බේල්ටෙෂශර්යයි නම් තැබූ ඒ දානියෙල් තුළ සම්බවිය. දැන් දානියෙල් කැඳෙවුවොත් ඔහු අර්ථය පෙන්වාදෙනවා ඇතැයි කීවාය. එකල දානියෙල් රජු ඉදිරියට පමුණුවනලද්දේය. රජතමේ දානියෙල්ට කථාකොට: මාගේ පිය රජ්ජුරුවන් යූදාරටින් අල්ලාගන ආ යුදෙව්වරුන්ගෙන් එක්කෙනෙක්වූ දානියෙල් නුඹද? දෙවිවරුන්ගේ ආත්මය නුඹ තුළ තිබෙන බව ද ආලෝකයත් නුවණත් උතුම් ප්‍රඥාවත් නුඹ තුළ තිබෙන බවද නුඹ ගැන ඇසීමි. මේ ලියවිල්ල කියවා එහි අර්ථය මට දන්වන පිණිස ශාස්ත්‍රවන්තයෝද අනවිනකාරයෝද මා ඉදිරියට පමුණුවනු ලැබුවෝය. නුමුත් කාරණාවේ අර්ථය පෙන්වන්ට ඔවුන්ට බැරිවිය. නුඹට නම් අර්ථ කියාදෙන්ටත් ගැටපද පහදාදෙන්ටත් පුළුවන් බව නුඹ ගැන ඇසුවෙමි. ඉතින් ලියවිල්ල කියවා, එහි අර්ථය මට දන්වන්ට නුඹට පුළුවන්වුණොත්, නුඹට රත් නිල් වස්ත්‍රයක් හඳවා, බෙල්ලේ රන් මාලයක් දමා, නුඹ රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයා කරනු ලබන්නෙහියයි කීවේය. එවිට දානියෙල් රජු ඉදිරියෙහි උත්තරදෙමින් කියනුයේ: ඔබගේ දීමනා ඔබටම වේවා, ඔබගේ තෑගිද වෙන කෙනෙකුට දෙනු ලැබේවා; එහෙත් මම ලියවිල්ල රජ්ජුරුවන්ට කියවාදී, අර්ථය ඔබට පෙන්වමි. රජ්ජුරුවෙනි, මහෝත්තම දෙවියන්වහන්සේ රජකමද මහන්තත්වයද ගෞරවයද මහිමයද ඔබගේ පියවූ නෙබුකද්නෙශර්ට දුන්සේක. උන්වහන්සේ ඔහුට දුන් මහන්තත්වය නිසා සියලු ජනයෝද ජාතීහුද භාෂාවෝද ඔහු ඉදිරියෙහි වෙවුලා භයවූවෝය. ඔහු, කැමැති කෙනෙකු මැරීය, කැමැති කෙනෙකු ඉතුරුකෙළේය; ඔහු කැමැති කෙනෙකු උසස්කෙළේය, කැමැති කෙනෙකු පහත්කෙළේය. එහෙත් ඔහුගේ සිත උසස්වී, උඩඟුකම්කරන ලෙස ඔහුගේ ආත්මය දැඩිවූ කල, ඔහු තමාගේ රාජාසනයෙන් පහත්කරනු ලැබුවේය, ඔහුගේ මහිමයද ඔහුගෙන් පහකරනු ලැබීය. මහෝත්තම දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි බල පවත්වා, උන්වහන්සේ කැමැති කෙනෙකු එය කෙරෙහි පත්කරන බව ඔහු දැනගන්න තුරු, මනුෂ්‍ය පුත්‍රයන් වෙතින් පන්වනු ලැබ, ඔහුගේ සිත මෘග සිතකට සමානව, ඔහුගේ වාසය වල්කොටළුවන් සමඟ වූයේය; ගොනුන්ට මෙන් ඔහුට තෘණ කවනු ලැබ, ඔහුගේ ශරීරයද අහසේ පින්නෙන් තෙමුණේය. ඔහුගේ පුත්‍රවූ බේල්ෂශර් වන ඔබ මේ සියල්ල දැනගන සිටි නුමුත් ඔබගේ සිත යටත්කර නොගෙන, ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත. එවිට අතේ කොටස උන්වහන්සේ වෙතින් එවනු ලැබීය, මේ ලියවිල්ලද ලියනලද්දේය. ලියනලද ලියවිල්ල නම්: මෙනේ, මෙනේ, තෙකේල්, උපාර්සීන් යනුය. ඒකේ අර්ථය මෙසේය: මෙනේ යනු දෙවියන්වහන්සේ ඔබගේ රජකමේ කාලය ගණන්කර කෙළවරකළසේක යනුය. තෙකේල් යනු ඔබ තරාදියේ කිරනු ලැබ, අඩු බව පෙනුණේය යනුය. පෙරෙස් යනු ඔබගේ රාජ්‍යය බෙදා, මේදවරුන්ටත් පර්සිවරුන්ටත් දෙනලද්දේය යනුයයි කීවේය. එකල බේල්ෂශර්ගේ ආඥාව පිට දානියෙල්ට රත්නිල් වස්ත්‍රයක් හඳවා, ඔහුගේ බෙල්ලේ රන් මාලයක් දමා, ඔහු රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයාය කියා ඔහු ගැන ප්‍රසිද්ධියක් කරනලද්දේය.
දානියෙල් 5:1-29 Sinhala New Revised Version (NRSV)
බෙල්ෂෙසර් රජු සිය උත්තමයන් දහසකට මහා මංගල උත්සවයක් පිළියෙළ කර ඔවුන් සමඟ මත්පැන් බීවේ ය. ඔහු බොමින් සිටිය දී, ඔහුගේ පියා වූ නෙබුකද්නෙශර් ජෙරුසලමේ දේව මාලිගාවෙන් කොල්ලකාගත් රන් රිදී භාජනවලින් තමා ද තමාගේ උත්තමයන් ද සිය භාර්යාවන් ද උපභාර්යාවන් ද බොන පිණිස ඒවා ගෙනෙන්නට අණ කෙළේ ය. එවිට ඔව්හු ජෙරුසලමේ දේව මාලිගාවේ සිද්ධස්ථානයෙන් පැහැරගෙන එන ලද රන් රිදී භාජන ගෙනාහ. රජ ද ඔහුගේ උත්තමයෝ ද භාර්යාවෝ ද උපභාර්යාවෝ ද එයින් බීවෝ ය. ඔව්හු මත්පැන් බී, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී හා ගල්වලින් තනන ලද දෙවිවරුන්ට ප්‍රශංසා කළහ. එකල හදිසියෙන් පහන් රුක ඉදිරිපිට රාජ මාලිගාවේ බිත්තියේ බදාම පිට ලියන මිනිස් අතක ඇඟිලි පෙනිණි. රජ තෙම ඒ අත දුටුවේ ය. එකල රජුගේ මුහුණ මැලවී සිත කැළඹුණේ ය. ඔහුගේ දෙකකුල් වාරු නැති ව දණහිස් එකට එක වැදුණේ ය. එකල රජ තෙම අනවිනකාරයන් ද කල්දිවරුන් ද පේන කියන්නන් ද කැඳවාගෙන එන ලෙස කෑ ගසා කී ය. රජ තෙම බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් අමතා, “මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වා දෙන කවුරු හෝ වේවා, ඔහුට රත්නිල් වස්ත්‍රයක් අඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් ඔහු පත් කරනු ලබන්නේ ය”යි කී ය. එවිට රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ පැමිණියෝ ය. එහෙත්, ඒ ලියවිල්ල කියවන්නට වත්, එහි අර්ථය රජුට පහදා දෙන්නට වත් ඔවුන්ට නොහැකි විය. එවිට බෙල්ෂෙසර් රජ අතිශයින් කැළඹී, මුහුණ මැලවී සිටියේ ය. ඔහුගේ උත්තමයෝ ද වියවුල් ව සිටියෝ ය. රජු සහ උත්තමයන් කතා කරමින් සිටිය දී බිසොව භෝජන ශාලාවට පැමිණ මෙසේ කීවා ය: “රජතුමා සදාකාලේට ම ජීවත් වේ වා! සිතුවිලිවලින් නොකැළඹී මුහුණ මැලවී නොසිටින්න. දේවාත්මානුභාවය ඇති මනුෂ්‍යයෙක් ඔබේ රාජ්‍යයේ සිටියි. ඔබේ පියාණන්ගේ කාලයේ දී මොහු පැහැදිලි කල්පනාව ද නුවණ ද දෙවියන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් ද ඇති කෙනෙකු ලෙස ප්‍රසිද්ධ ව සිටියේ ය. ඔබේ පියා වූ නෙබුකද්නෙශර්ගේ කාලයේ දී, ඔහු මන්ත්‍රකාරයන්ගේ ද අනවිනකාරයන්ගේ ද දෛවඥයන්ගේ ද පේන කියන්නන්ගේ ද ප්‍රධානියා වශයෙන් පත් කරන ලදී. රජු විසින් බෙල්ටෙෂෙසර් යන නම තබන ලද ඒ දානියෙල් උසස් කුශලතා ඇති, ස්වප්න තේරුම් කර දීමේත්, තේරවිලි විසඳීමේත්, ගැටපද පහදා දීමේත් ඥානය ඇති කෙනෙකු විය. දැන් ඔබ මේ දානියෙල් කැඳෙව්වොත්, ඔහු ඔය ලියවිල්ලේ අර්ථය පහදා දෙනු ඇතැ”යි කීවා ය. එකල දානියෙල් තෙමේ රජු ඉදිරියට ගෙන්වන ලද්දේ ය. රජ තෙමේ දානියෙල් අමතා, “මාගේ පිය රජ්ජුරුවන් ජුදා රටින් අල්ලාගෙන ආ ජුදෙව්වන්ගෙන් එක් කෙනෙකු වන දානියෙල් ඔබ ද? දේවාත්මානුභාවය ඔබ තුළ තිබෙන බව ද පැහැදිලි කල්පනාවත්, නුවණත්, උතුම් ප්‍රඥාවත් ඔබ තුළ තිබෙන බව ද මා ඔබ ගැන අසා ඇත. මේ ලියවිල්ල කියවා එහි අර්ථය දන්වන පිණිස ශාස්ත්‍රවන්තයන් ද අනවිනකාරයන් ද මා ඉදිරියට ගෙනෙනු ලැබූ නමුත්, එහි අර්ථය පහදා දෙන්න ඔවුන්ට නොහැකි විය. ඔබට අර්ථකථනය කිරීමටත් ගැටපද විවරණය කිරීමටත් හැකි බව මම අසා ඇත්තෙමි. මෙම ලියවිල්ල කියවා එහි අර්ථය පහදා දීමට හැකි නම්, ඔබට රත්නිල් වස්ත්‍ර හඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් මම ඔබ පත් කරමි”යි කී ය. එවිට දානියෙල්, රජු ඉදිරියේ මෙසේ කී ය: “ඔබේ දීමනා ඔබ ම තබාගනු මැනවි. ඔබේ තෑගි අන් කෙනෙකුට දෙනු මැනවි. කෙසේ වෙතත් මෙම ලියවිල්ල කියවා එය රජ්ජුරුවන්ට පහදා දෙන්නෙමි. “රජතුමනි, මහෝත්තම දෙවියන් වහන්සේ රජකම ද මහන්තත්ත්වය ද ගෞරවය ද මහිමය ද ඔබේ පිය වූ නෙබුකද්නෙශර්ට දුන් සේක. උන් වහන්සේ ඔහුට දුන් මහන්තත්ත්වය නිසා සියලු ජනයෝ ද ජාතීහු ද භාෂාවෝ ද ඔහු ඉදිරියේ වෙවුලා බිය වූවෝ ය. ඔහු කැමැති කෙනෙකු මැරී ය; කැමැති කෙනෙකු ඉතුරු කෙළේ ය. ඔහු කැමැති කෙනෙකු උසස් කෙළේ ය. කැමැති කෙනෙකු පහත් කෙළේ ය. එහෙත්, ඔහුගේ සිත අහංකාරයෙන් ද අභිමානයෙන් ද දැඩි වූ විට ඔහු රාජ්‍යාසනයෙන් පහ කරනු ලැබී ය. ඔහුගේ මහිමය ද ඔහුගෙන් පහ කරනු ලැබී ය. මනුෂ්‍යයන්ගේ රාජ්‍යය මහෝත්තම දෙවියන් වහන්සේ පාලනය කරන බවත්, තමන් කැමැති කෙනෙකු උන් වහන්සේ ඒවායේ පාලනය කිරීමට පත් කරන බවත් දැනගන්නා තුරු ඔහු ජන සමාජයෙන් පිටමං කරනු ලැබී ය. ඔහුගේ සිත මෘගයෙකුගේ සිත මෙන් විය. වල් කොටළුවන් සමඟ ජීවත් වී, ගොනුන් මෙන් තණ කොළ කන්නට ඔහුට සිදු විය. ඔහුගේ සිරුර අහසේ පින්නෙන් තෙමුණේ ය. “ඔහුගේ පුත්‍රයා වන බෙල්ෂෙසර් නම් ඔබ මේ සියල්ල දැන ගෙන සිටි නමුත්, ඔබේ සිත යටත් කර නොගෙන, ස්වර්ගයේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව උසස් වී, උන් වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගෙන, ඔබ ද ඔබේ උත්තමයෝ ද භාර්යාවෝ ද උපභාර්යාවෝ ද එයින් බීවෝ ය. තවද, කිසි පෙනීමක් වත්, ඇසීමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී සහ ගලින් සාදන ලද දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කෙළෙහි ය. එහෙත්, ඔබේ ප්‍රාණයටත්, ඉරණමටත් කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කෙළේ නැත. උන් වහන්සේ වෙතින් අතක් එවනු ලැබ මේ ලියවිල්ල ලියන ලද්දේ ඒ බැවිනි. “ලියන ලද ලියවිල්ල නම්: ‘මෙනේ, මෙනේ, තෙකේල් උ-පාර්සීන්’ යනු යි. එහි අර්ථය මෙසේ ය: ‘මෙනේ’ යන්නෙන් දෙවියන් වහන්සේ ඔබේ රජකමේ කාලය ගණන් කර එය කෙළවර කළ සේකැ යි අදහස් කර ඇත. ‘තෙකේල්’ යන්නෙන් ඔබ තරාදියේ දමා කිරනු ලැබ, බරෙන් අඩු බව අදහස් කෙරේ. ‘උ-පාර්සීන්’ යන්නෙන් ඔබේ රාජ්‍ය බෙදා, මේදවරුන්ටත්, පර්සිවරුන්ටත් දෙන ලදැ යි අදහස් කෙරේ.” එකල බෙල්ෂෙසර්ගේ අණ පිට දානියෙල් රක්ත-නීල වස්ත්‍රයක් හඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා ය, කියා ඔහු ගැන ප්‍රසිද්ධ කරන ලද්දේ ය.
දානියෙල් 5:1-29 New International Version (NIV)
King Belshazzar gave a great banquet for a thousand of his nobles and drank wine with them. While Belshazzar was drinking his wine, he gave orders to bring in the gold and silver goblets that Nebuchadnezzar his father had taken from the temple in Jerusalem, so that the king and his nobles, his wives and his concubines might drink from them. So they brought in the gold goblets that had been taken from the temple of God in Jerusalem, and the king and his nobles, his wives and his concubines drank from them. As they drank the wine, they praised the gods of gold and silver, of bronze, iron, wood and stone. Suddenly the fingers of a human hand appeared and wrote on the plaster of the wall, near the lampstand in the royal palace. The king watched the hand as it wrote. His face turned pale and he was so frightened that his legs became weak and his knees were knocking. The king summoned the enchanters, astrologers and diviners. Then he said to these wise men of Babylon, “Whoever reads this writing and tells me what it means will be clothed in purple and have a gold chain placed around his neck, and he will be made the third highest ruler in the kingdom.” Then all the king’s wise men came in, but they could not read the writing or tell the king what it meant. So King Belshazzar became even more terrified and his face grew more pale. His nobles were baffled. The queen, hearing the voices of the king and his nobles, came into the banquet hall. “May the king live forever!” she said. “Don’t be alarmed! Don’t look so pale! There is a man in your kingdom who has the spirit of the holy gods in him. In the time of your father he was found to have insight and intelligence and wisdom like that of the gods. Your father, King Nebuchadnezzar, appointed him chief of the magicians, enchanters, astrologers and diviners. He did this because Daniel, whom the king called Belteshazzar, was found to have a keen mind and knowledge and understanding, and also the ability to interpret dreams, explain riddles and solve difficult problems. Call for Daniel, and he will tell you what the writing means.” So Daniel was brought before the king, and the king said to him, “Are you Daniel, one of the exiles my father the king brought from Judah? I have heard that the spirit of the gods is in you and that you have insight, intelligence and outstanding wisdom. The wise men and enchanters were brought before me to read this writing and tell me what it means, but they could not explain it. Now I have heard that you are able to give interpretations and to solve difficult problems. If you can read this writing and tell me what it means, you will be clothed in purple and have a gold chain placed around your neck, and you will be made the third highest ruler in the kingdom.” Then Daniel answered the king, “You may keep your gifts for yourself and give your rewards to someone else. Nevertheless, I will read the writing for the king and tell him what it means. “Your Majesty, the Most High God gave your father Nebuchadnezzar sovereignty and greatness and glory and splendor. Because of the high position he gave him, all the nations and peoples of every language dreaded and feared him. Those the king wanted to put to death, he put to death; those he wanted to spare, he spared; those he wanted to promote, he promoted; and those he wanted to humble, he humbled. But when his heart became arrogant and hardened with pride, he was deposed from his royal throne and stripped of his glory. He was driven away from people and given the mind of an animal; he lived with the wild donkeys and ate grass like the ox; and his body was drenched with the dew of heaven, until he acknowledged that the Most High God is sovereign over all kingdoms on earth and sets over them anyone he wishes. “But you, Belshazzar, his son, have not humbled yourself, though you knew all this. Instead, you have set yourself up against the Lord of heaven. You had the goblets from his temple brought to you, and you and your nobles, your wives and your concubines drank wine from them. You praised the gods of silver and gold, of bronze, iron, wood and stone, which cannot see or hear or understand. But you did not honor the God who holds in his hand your life and all your ways. Therefore he sent the hand that wrote the inscription. “This is the inscription that was written: mene, mene, tekel, parsin “Here is what these words mean: Mene : God has numbered the days of your reign and brought it to an end. Tekel : You have been weighed on the scales and found wanting. Peres : Your kingdom is divided and given to the Medes and Persians.” Then at Belshazzar’s command, Daniel was clothed in purple, a gold chain was placed around his neck, and he was proclaimed the third highest ruler in the kingdom.