දානියෙල් 3:8-28

දානියෙල් 3:8-28 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඒ අවස්ථාවේ කල්දිවර ඇතමෙක් ඉදිරියට අවුත්, යුදෙව්වනට එරෙහිව ප්‍රසිද්ධියේ චෝදනා නගන්නට වන්හ. ඔවුහු කතා කරමින්, නෙබුකද්නෙසර් රජු අමතා, “අහෝ රජතුමනි, ඔබ සැම කල් දිනේවා! රජතුමනි, ඔබ ආඥාවක් නිකුත් කර තිබේ; හොරණෑ, බටනළා, සිතාර, වීණා, මහ වීණා, නළා හා සකල විධ සංගීත නාදය අසන හැම කෙනකු ම බිම වැතිරී, රන් පිළිමයට නමස්කාර කළ යුතු ය කියාත්, එසේ බිම වැටී නමස්කාර නො කරන කවරකු වුව, ඇවිළෙන ගිනි උදුනක් තුළට හෙළා දැමේය කියාත් ඉන් දැක් වේ. එහෙත් බබිලෝනි පළාතේ පරිපාලන කටයුතු සඳහා ඔබ පත් කළ ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ යන යුදෙව්වන් ඔබට කිසි සැලකිල්ලක් දක්වන්නේ නැත. අහෝ රජතුමනි, ඔවුන් ඔබේ දෙවිවරුනට සේවය කරන්නේවත්, ඔබ පිහිටුවා ඇති රන් පිළිමයට නමස්කාර කරන්නේවත් නැතැ” යි කීහ. එවිට කෝපයෙන් වියරු වූ නෙබුකද්නෙසර්, ෂද්‍රක් ද මේෂක් ද අබේද්-නෙගෝ ද ගෙනෙන්නට නියෝග කළේ ය. එබැවින් ඒ මිනිස්සු රජු ඉදිරියට පමුණු වන ලදහ. ඔවුන් ඇමතූ නෙබුකද්නෙසර්, “ඒක ඇත්ත ද! එම්බා ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ! නුඹලා මගේ දෙවිවරුන්ට සේවය කරන්නේත්, මා පිහිටූ රන් පිළිමයට නමස්කාර කරන්නේත් නැතැයි කියන එක? දැන් හොරණෑ, බටනළා, සිතාර, වීණා, මහ වීණා, නළා හා සකල සංගීත නාදය ඔබට ඇසෙන කල, මා හදා ඇති පිළිමයට බිම වැතිරී නමස්කාර කරන්නට ඔබ සූදානම් වූවොත් යෙහෙකි. එහෙත් ඔබ ඊට නමස්කාර නො කරන්නේ නම්, ඇවිළෙන ගිනි උදුනක් තුළට එවේලේ ම ඔබ හෙළා දැමේ. එවිට මගේ අතින් ඔබ මුදාලීමට සමත් දෙවියා කවුරු දැ?” යි ඇසී ය. ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ රජුට පිළිතුරු දෙමින්, “එම්බා නෙබුකද්නෙසර්, මේ කාරණයේදී ඔබ ඉදිරියේ නිදහසට කරුණු කීමේ වුවමනාවක් අපට නැත. එසේ කරනු ලැබුවත්, ඇවිළෙන ගිනි උදුනෙන් අප ගලවා ගන්නට අප සේවය කරන අපේ දෙවියන්වහන්සේට පුළුවන. එම්බා රජ්ජුරුවනි, ඔබේ අතින් උන්වහන්සේ අප මුදාලන සේක. උන්වහන්සේ එසේ නො කළත්, අහෝ රජ්ජුරුවනි, ඔබේ දෙවිවරුන්ට අප සේවය කරන්නේ නැති වගත්, ඔබ පිහිටූ රන් පිළිමයට අප නමස්කාර කරන්නේ නැති වගත් දැනගන්න” යි කීහ. එවිට නෙබුකද්නෙසර් මුළුමනින් කෝපාවිෂ්ට විය. ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ වෙත ඔහුගේ මුහුණේ ස්වාභාව වෙනස් විය. ගිනි උදුන එහි සාමාන්‍ය උෂ්ණත්වයට වඩා හත් ගුණයකින් රත් කරන්නට ඔහු නියෝග කළේ ය. ෂද්‍රක් ද මේෂක් ද අබේද්-නෙගෝ ද බැඳ, ඇවිළෙන ගිනි උදුනට ඔවුන් හෙළා දමන ලෙස, ඔහු තම හමුදාවේ වඩා ශක්තිමත් හේවායින් කීපදෙනකුට නියෝග කළේ ය. එබැවින් ඒ මිනිස්සු ඔවුන් ඇඳ සිටි සළු, කබා, තලප්පා හා සෙසු ඇඳුම් පිටින් ම බැඳ, ඇවිළෙන ගිනි උදුනට හෙළා දමන ලදහ. රජුගේ අණ ඒ සා හදිසි වූ නිසාත්, ගිනි උදුන අධික ලෙස රත් ව තිබූ නිසාත් ඒ වියරු ගිනි දළුවලින් ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ ඔසවාගෙන ගිය සෙබළුන් මරා දැමිණ. ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ යන තිදෙනා ම බැඳි බැමි පිටින් ම ඇවිළෙන ගිනි උදුන තුළට වැටුණහ. එවිට විස්මයෙන් ඇලළී හදිසියෙන් ම නැගී සිටි නෙබුකද්නෙසර්, “අප ගින්නට හෙළා දැම්මේ බඳිනු ලැබූ මිනිසුන් තුන් දෙනෙක් නො වේ දැ?” යි ඔහුගේ උපදේශකයන්ට කියා පෑවේ ය. “සත්තකින් ම එසේය රජතුමනි” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට ඔහු, “අර බලන්න! මිනිසුන් සතර දෙනෙක් බැඳුම් නොමැතිව, ගින්න මැද ඇවිදිනු මට පෙනේ; ඔවුන්ට උපද්‍රවයක් නැත. සතරවැන්නා පෙනුමෙන් දෙවියන්ගේ පුත්‍රයකු වගේ” යි පැවසී ය. එවිට නෙබුකද්නෙසර් ඇවිළෙන උදුනෙහි පිවිසුම අසලට ළං වී, මොර ගසා, “ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ! මහෝත්තම දෙවියන්වහන්සේගේ සේවකයිනි, පිටතට එන්න! මෙහි එන්නැ” යි කියා පෑ ය. එවිට ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ ගින්නෙන් පිටතට ආහ. දේශාධිපතීහු, ප්‍රදේශාධිපතීහු, ආණ්ඩුකරුවෝ හා රාජකීය උපදේශකයෝ ද ඔවුන් වටකර ගත්හ. ඒ තිදෙනාගේ සිරුරුවලට ගින්න කිසි උපද්‍රවයක් කර නැති වග, ඔවුන්ගේ හිස කෙසකුදු දැවී නැති වග ඔවුහු දුටුවහ. ඔවුන්ගේ සළුවලට ගින්න වැදී තිබුණේ නැත. ඔවුන් ළඟ ගිනි ගඳ තිබුණේ ද නැත. එවිට නෙබුකද්නෙසර්, “ෂද්‍රක්ගේ, මේෂක්ගේ හා අබේද්-නෙගෝගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වකීය දූතයා එවා, උන්වහන්සේ තම සේවකයින් මුදා ගත් සේක. ඔවුහු උන්වහන්සේ පිට විශ්වාසය තැබුවෝ, රජුගේ අණට පිටුපාමින්, තමන්ගේ දෙවියන්වහන්සේට මිස, අන් දෙවියකුට සේවය කරනවාටත්, නමස්කාර කරනවාටත් වඩා තම ජීවිතය දෙන්නට කැමති වූහ.

දානියෙල් 3:8-28 Sinhala Revised Old Version (SROV)

එබැවින් ඒ කාලයේ සමහර කල්දි මනුෂ්‍යයෝ ළංවී යුදෙව්වරුන්ට වරද තැබුවෝය. ඔව්හු නෙබුකද්නෙශර් රජුට කථාකොට: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා. රජ්ජුරුවෙනි, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය ඇසෙන සියල්ලන් බිම වැටී රන් රූපයට නමස්කාරකරන හැටියටද, බිම වැටී නමස්කාර නොකරන කවුරුනුමුත් ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන හැටියටද ඔබ අණක් පනවා තිබේ. නුමුත් බබිලෝනි පළාතේ කාරණා කෙරෙහි ඔබ විසින් පත්කළ යුදෙව් මනුෂ්‍යයන් වන ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ඔබ නොසලකති. ඔවුන් ඔබගේ දෙවිවරුන්ට සේවය කරන්නේවත් ඔබ විසින් පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැතැයි කීවෝය. එකල නෙබුකද්නෙශර් උදහසිනුත් කෝපයෙනුත් යුක්තව, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ගෙනෙන්ට අණකෙළේය. එවිට ඔව්හු ඒ මනුෂ්‍යයන් රජු ඉදිරියට ගෙනාවෝය. නෙබුකද්නෙශර් ඔවුන්ට කථාකොට: එම්බා ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, නුඹලා මාගේ දෙවිවරුන්ට සේවයනොකොට, මා විසින් පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර නොකර සිටින්නේ අදහසක් පිටද? ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය. ෂද්‍රක්ද මේෂක්ද අබේද්නෙගෝද නෙබුකද්නෙශර් රජුට උත්තරදෙමින්: මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්ට අපට ඕනෑ නැත. ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක. එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවයකරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරන්නේවත් නැති බව ඔබ දැනගත මැනවයි කීවෝය. එකල නෙබුකද්නෙශර් කෝපයෙන් පිරුණේය, ෂද්‍රක්ටද මේෂක්ටද අබේද්-නෙගෝටද විරුද්ධව ඔහුගේ මුහුණේ පෙනුම වෙනස්විය. ඔහු කථාකොට, පුරුදු ප්‍රමාණයට වඩා සත්ගුණයක් උදුන රත්කරන්ට අණ කෙළේය. තවද ෂද්‍රක්ද මේෂක්ද අබේද්නෙගෝද බැඳ, ඇවිළෙන ගිනි උදුනට හෙළන්ට ඔහු තමාගේ සේනාවේ බලවත් මනුෂ්‍යයන්ට අණකෙළේය. එකල ඔව්හු ඒ මනුෂ්‍යයන් ඔවුන්ගේ පොරෝනද සැට්ටද සළුද වෙනත් වස්ත්‍රද පිටින් බැඳ, ඇවිළෙන ගිනි උදුන මැදට හෙළූහ. එවිට රජුගේ ආඥාව තද නිසා උදුන ඉතා රත්ව තිබුණු බැවින්, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද එසවූ මනුෂ්‍යයෝ ගිනි දළුවෙන් මළෝය. ඒ මනුෂ්‍යයන් තුන් දෙනා වන ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ඇවිළෙන ගිනි උදුන මැදට බැමි පිටින් වැටුණෝය. එකල නෙබුකද්නෙශර් රජ විස්මපත්වී, ඉක්මනින් නැගිට, තමාගේ මන්ත්‍රීවරුන්ට කථාකොට: අප විසින් මනුෂ්‍යයන් තුන්දෙනකු බැඳ ගින්නට හෙළුවා නොවේදැයි කීවේය. එසේය, රජ්ජුරුවෙනියි ඔව්හු රජුට උත්තරදෙමින් කීවෝය. ඔහු උත්තරදෙමින්: අන්න, මනුෂ්‍යයන් සතර දෙනෙක් නිදහස්ව, කිසි උපද්‍රවයක් නැතුව, ගින්න මැද ඇවිදිනවා මට පෙනෙයි; සතරවෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයයි කීවෝය. එවිට නෙබුකද්නෙශර් ඇවිළෙන ගිනි උදුනේ දොරකඩට ළංවී: මහෝත්තම දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන් වන ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, පිටතට එන්නැයි කීවේය. එවිට ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ගින්න මැද සිට පිටතට ආවෝය. දිසාපතීහුද අධිපතියෝද ආණ්ඩුකාරයෝද රජුගේ මන්ත්‍රීවරුද රැස්ව, ඒ මනුෂ්‍යයන්ගේ ශරීර කෙරෙහි ගින්න බල නොපැවැත්වූ බවත් ඔවුන්ගේ ඉසකේවත් නොදෑ බවත් ඔවුන්ගේ පොරෝන වෙනස්වෙලාවත් ගිනිගඳ ඔවුන්ට වැදීලාවත් නැති බවත් දුටුවෝය. නෙබුකද්නෙශර් කථාකොට: ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා එවා, තමන්වහන්සේ කෙරෙහි විශ්වාස කළාවූ, තමුන්ගේම දෙවියන්වහන්සේට මිස වෙන කිසි දෙවිකෙනෙකුට සේවයකරන්ටවත් නමස්කාරකරන්ටවත් නොයෙදෙන පිණිස, රජුගේ වචනය කඩකර තමුන්ගේ ශරීර භාරදුන්නාවූ, ස්වකීය මෙහෙකරුවන් ගැළවූසේක.

දානියෙල් 3:8-28 Sinhala New Revised Version (NRSV)

ඒ අවස්ථාවේ දී කල්දිවරු සමහර දෙනෙක් ඉදිරිපත් වී ජුදෙව්වරුන්ට විරුද්ධ ව චෝදනාවක් කළහ. ඔව්හු නෙබුකද්නෙශර් රජුට මෙසේ කී හ: “රජතුමනි, චිරාත් කාලයක් වැජඹෙත් වා! හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසෙන සියල්ලන් බිම වැටී රන් රූපයට නමස්කාර කළ යුතු ය කියා ද එසේ බිම වැටී නමස්කාර නොකරන කවරෙකු නමුත්, ඇවිලෙන ගිනි උදුනක් මැදට හෙළිය යුතු ය කියා ද ඔබතුමා ආඥාවක් පණවා ඇත. එහෙත්, බබිලෝනි පළාත පාලනය කිරීමට ඔබ පත් කළ ජුදෙව්වරුන් වන ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ යන තිදෙනා ඔබේ අණට කීකරු නොවෙති. ඔවුන් ඔබේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැත.” ඒ ඇසූ නෙබුකද්නෙශර් රජ ක්‍රෝධයෙන් දැවෙමින්, ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ ගෙන එන්න අණ කෙළේ ය. එවිට ඔව්හු ඒ තිදෙනා රජු ඉදිරියට ගෙනාහ. නෙබුකද්නෙශර් ඔවුන් අමතා මෙසේ කී ය: “ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ, ඔබ මාගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, මා පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැතැ යි කියන්නේ ඇත්ත ද? හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසෙන විට බිම වැටී මා සාදා තිබෙන රූපයට නමස්කාර කරන්නට ඔබ සූදානම් ද? එසේ නම් යහපති; නැත්නම්, රන් රූපයට ඔබ නමස්කාර නොකළොත්, එකෙණෙහි ම ඇවිලෙන ගිනි උදුනක් මැදට ඔබ හෙළනු ලබනු ඇත. එවිට මාගේ අත්වලින් ඔබ ගළවන දෙවියෝ කවුරු ද කියා බලමු.” ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ රජතුමාට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “රජතුමනි, ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපට වුවමනා නැත. රජතුමනි, ඇවිලෙන ගිනි උදුනෙන් අප ගළවාගන්නට පුළුවන් දෙවි කෙනෙක් සිටිත් නම්, ඒ අප වැඳුම්පිදුම් කරන දෙවියන් වහන්සේ ම ය. ඔබේ අතින් උන් වහන්සේ අප ගළවන සේක. රජතුමනි, උන් වහන්සේ එසේ නොකළත්, අප ඔබේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, ඔබ පිහිටුවා ඇති රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැති බව ඔබට දන්වන්නට කැමැත්තෙමු.” ඒ ඇසූ නෙබුකද්නෙශර් අතිශයෙන් කෝපාවිෂ්ට විය. ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ දෙස ඔහුගේ මුහුණේ බැල්ම වෙනස් වී ගිනි උදුන සාමාන්‍ය ප්‍රමාණයට වඩා සත් ගුණයක් රත් කරන්නට නියම කෙළේ ය. ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ බැඳ, ඇවිලෙන ගිනි උදුනට හෙළන්නට ඔහු තමාගේ සේනාවේ ශක්ති සම්පන්න අයට අණ කෙළේ ය. ඔව්හු ඒ තිදෙනා ඔවුන් ඇඳ සිටි සළුව, කබාය, හිස වැස්ම යනාදී සියලු ඇඳුම් පිටින් ම බැඳ ඇවිලෙන ගිනි උදුන මැදට හෙළූ හ. රජ්ජුරුවන්ගේ නියමය වහා ඉටු කළ යුතු ව තිබුණු බැවින් ද ගිනි උදුන ඉතා රත් ව තිබුණු බැවින් ද ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ ගෙන ගිය අය පිටතට විහිදී ආ ගිනි දලුවලින් දැවී මළෝ ය. ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ යන තිදෙනා බැමි පිටින් ම ගිනි උදුන මැදට වැටුණෝ ය. නෙබුකද්නෙශර් රජ පුදුමයට පත් වී, වහා නැඟිට මන්ත්‍රීවරුන් අමතා, “අප බැඳ ගින්නට හෙළුවේ මිනිස්සු තුන්දෙනෙක් නොවෙත් දැ”යි ඇසී ය. “එසේ ය, රජතුමනි” කියා ඔව්හු පිළිතුරු දුන්හ. එවිට රජතුමා, “අන්න, මිනිසුන් සතරදෙනෙකු සිටිනු මට පෙනේ, කිසි පීඩාවක් නැති ව ඔව්හු ගින්න මැද ඇවිදිති. සතරවැනියා පෙනුමෙන් දේව පුත්‍රයෙකු වැනි ය”යි කී ය. එසේ කියා ඔහු ඇවිලෙන ගිනි උදුනේ දොරකඩට ළං වී, “මහෝත්තම දෙවියන් වහන්සේගේ සේවකයන් වන ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ පිටතට එන්න, මෙහි එන්නැ”යි කී ය. එවිට ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ ගින්න මැද සිට පිටතට ආහ. දිශාධිපතීහු ද අධිපතියෝ ද ආණ්ඩුකාරයෝ ද රජුගේ මන්ත්‍රීවරු ද ඔවුන් වටේ රැස් ව, ඒ තිදෙනාගේ ශරීරවලට ගින්නෙන් කිසි පීඩාවක් නුවූ බවත්, ඔවුන්ගේ කෙස්ගහක් වත්, පිළිස්සී නැති බවත්, ඇඳුම්වලට ගින්න වැදී නැති බවත්, ඔවුන්ගේ ඇඟපතේ ගිනි ගඳක් වත් නොවූ බවත් දුටුවෝ ය. එවිට, නෙබුකද්නෙශර් මෙසේ කීවේ ය: “ෂද්‍රක්ගේත්, මේෂක්ගේ හා අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ සිය දූතයා එවා තමන්ගේ මේ සේවකයන් තිදෙනා ගළවාගත් සේක. ඔව්හු රජුගේ නියමයට පිටුපා තමන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ හ. තමන්ගේ දෙවියන් වහන්සේ හැර අන් දෙවියෙකුට සේවය කරනවාටත්, නමස්කාර කරනවාටත් වඩා ගින්නට ගොදුරුවන්නට ඔව්හු සතුටු වූ හ.

දානියෙල් 3:8-28 New International Version (NIV)

At this time some astrologers came forward and denounced the Jews. They said to King Nebuchadnezzar, “May the king live forever! Your Majesty has issued a decree that everyone who hears the sound of the horn, flute, zither, lyre, harp, pipe and all kinds of music must fall down and worship the image of gold, and that whoever does not fall down and worship will be thrown into a blazing furnace. But there are some Jews whom you have set over the affairs of the province of Babylon—Shadrach, Meshach and Abednego—who pay no attention to you, Your Majesty. They neither serve your gods nor worship the image of gold you have set up.” Furious with rage, Nebuchadnezzar summoned Shadrach, Meshach and Abednego. So these men were brought before the king, and Nebuchadnezzar said to them, “Is it true, Shadrach, Meshach and Abednego, that you do not serve my gods or worship the image of gold I have set up? Now when you hear the sound of the horn, flute, zither, lyre, harp, pipe and all kinds of music, if you are ready to fall down and worship the image I made, very good. But if you do not worship it, you will be thrown immediately into a blazing furnace. Then what god will be able to rescue you from my hand?” Shadrach, Meshach and Abednego replied to him, “King Nebuchadnezzar, we do not need to defend ourselves before you in this matter. If we are thrown into the blazing furnace, the God we serve is able to deliver us from it, and he will deliver us from Your Majesty’s hand. But even if he does not, we want you to know, Your Majesty, that we will not serve your gods or worship the image of gold you have set up.” Then Nebuchadnezzar was furious with Shadrach, Meshach and Abednego, and his attitude toward them changed. He ordered the furnace heated seven times hotter than usual and commanded some of the strongest soldiers in his army to tie up Shadrach, Meshach and Abednego and throw them into the blazing furnace. So these men, wearing their robes, trousers, turbans and other clothes, were bound and thrown into the blazing furnace. The king’s command was so urgent and the furnace so hot that the flames of the fire killed the soldiers who took up Shadrach, Meshach and Abednego, and these three men, firmly tied, fell into the blazing furnace. Then King Nebuchadnezzar leaped to his feet in amazement and asked his advisers, “Weren’t there three men that we tied up and threw into the fire?” They replied, “Certainly, Your Majesty.” He said, “Look! I see four men walking around in the fire, unbound and unharmed, and the fourth looks like a son of the gods.” Nebuchadnezzar then approached the opening of the blazing furnace and shouted, “Shadrach, Meshach and Abednego, servants of the Most High God, come out! Come here!” So Shadrach, Meshach and Abednego came out of the fire, and the satraps, prefects, governors and royal advisers crowded around them. They saw that the fire had not harmed their bodies, nor was a hair of their heads singed; their robes were not scorched, and there was no smell of fire on them. Then Nebuchadnezzar said, “Praise be to the God of Shadrach, Meshach and Abednego, who has sent his angel and rescued his servants! They trusted in him and defied the king’s command and were willing to give up their lives rather than serve or worship any god except their own God.