දානියෙල් 3:13-16

දානියෙල් 3:13-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට කෝපයෙන් වියරු වූ නෙබුකද්නෙසර්, ෂද්‍රක් ද මේෂක් ද අබේද්-නෙගෝ ද ගෙනෙන්නට නියෝග කළේ ය. එබැවින් ඒ මිනිස්සු රජු ඉදිරියට පමුණු වන ලදහ. ඔවුන් ඇමතූ නෙබුකද්නෙසර්, “ඒක ඇත්ත ද! එම්බා ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ! නුඹලා මගේ දෙවිවරුන්ට සේවය කරන්නේත්, මා පිහිටූ රන් පිළිමයට නමස්කාර කරන්නේත් නැතැයි කියන එක? දැන් හොරණෑ, බටනළා, සිතාර, වීණා, මහ වීණා, නළා හා සකල සංගීත නාදය ඔබට ඇසෙන කල, මා හදා ඇති පිළිමයට බිම වැතිරී නමස්කාර කරන්නට ඔබ සූදානම් වූවොත් යෙහෙකි. එහෙත් ඔබ ඊට නමස්කාර නො කරන්නේ නම්, ඇවිළෙන ගිනි උදුනක් තුළට එවේලේ ම ඔබ හෙළා දැමේ. එවිට මගේ අතින් ඔබ මුදාලීමට සමත් දෙවියා කවුරු දැ?” යි ඇසී ය. ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ රජුට පිළිතුරු දෙමින්, “එම්බා නෙබුකද්නෙසර්, මේ කාරණයේදී ඔබ ඉදිරියේ නිදහසට කරුණු කීමේ වුවමනාවක් අපට නැත.

දානියෙල් 3:13-16 Sinhala Revised Old Version (SROV)

එකල නෙබුකද්නෙශර් උදහසිනුත් කෝපයෙනුත් යුක්තව, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද ගෙනෙන්ට අණකෙළේය. එවිට ඔව්හු ඒ මනුෂ්‍යයන් රජු ඉදිරියට ගෙනාවෝය. නෙබුකද්නෙශර් ඔවුන්ට කථාකොට: එම්බා ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, නුඹලා මාගේ දෙවිවරුන්ට සේවයනොකොට, මා විසින් පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර නොකර සිටින්නේ අදහසක් පිටද? ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය. ෂද්‍රක්ද මේෂක්ද අබේද්නෙගෝද නෙබුකද්නෙශර් රජුට උත්තරදෙමින්: මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්ට අපට ඕනෑ නැත.

දානියෙල් 3:13-16 Sinhala New Revised Version (NRSV)

ඒ ඇසූ නෙබුකද්නෙශර් රජ ක්‍රෝධයෙන් දැවෙමින්, ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ ගෙන එන්න අණ කෙළේ ය. එවිට ඔව්හු ඒ තිදෙනා රජු ඉදිරියට ගෙනාහ. නෙබුකද්නෙශර් ඔවුන් අමතා මෙසේ කී ය: “ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ, ඔබ මාගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, මා පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැතැ යි කියන්නේ ඇත්ත ද? හොරණෑවේ ද නළාවේ ද වීණාවේ ද මහා වීණාවේ ද කුඩා වීණාවේ ද මිහිරි නළාවේ ද සියලු ආකාර තූර්ය භාණ්ඩවල ද ශබ්දය ඇසෙන විට බිම වැටී මා සාදා තිබෙන රූපයට නමස්කාර කරන්නට ඔබ සූදානම් ද? එසේ නම් යහපති; නැත්නම්, රන් රූපයට ඔබ නමස්කාර නොකළොත්, එකෙණෙහි ම ඇවිලෙන ගිනි උදුනක් මැදට ඔබ හෙළනු ලබනු ඇත. එවිට මාගේ අත්වලින් ඔබ ගළවන දෙවියෝ කවුරු ද කියා බලමු.” ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ රජතුමාට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “රජතුමනි, ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපට වුවමනා නැත.