ක්‍රියා 21:35-40

ක්‍රියා 21:35-40 සිංහල කාලීන පරිවර්තනය (SCV)

පාවුල් එහි වූ පඩි පෙළට ළං වූ කල, කලහකාරී පිරිස කෙතරම් සැහැසි වූවෝ ද යත් පාවුල් ඔසවාගෙන යෑමට හමුදා භටයින්ට සිදු විණි. සෙනඟ ද ඒ පසු පස්සේ ම යමින්, “ඔහු නැති කර දමව්” කියමින් කෑ ගසන්නට වන්හ. හේවායින් කඳවුර තුළට තමා ගෙන යෑමට සැරසෙද්දී, සෙන්පති ඇමතූ පාවුල්, “ඔබට වචනයක් කියන්න අවසර දැ?” යි ඇසී ය. එවිට සෙන්පති, “හෝ! ඔබ ග්‍රීක් බස දන්නවා ද? කලකට පෙර කැරැල්ලක් සංවිධාන කර මිනී මරුවන් හාරදහසක් ගෙන පාළුකරයට වැදුණු ඊජිප්තුවා ඔබ නො වේ දැ?” යි ඇසී ය. පාවුල් පිළිතුරු දෙමින්, “මා යුදෙව්වරයෙක්, සිලිසියාවේ කීර්තිමත් නගරයක් වන තාර්සස්හි පුරවැසියෙක්. ජනතාව අමතන්නට මට ඉඩ දෙන්නැ” යි කීවේ ය. සෙන්පති තැන ඊට අවසර දුන් කල, පඩි පෙළ මත සිටගත් පාවුල් නිසල වන ලෙස ජනයාට සංඥා කළේ ය. ඔවුන් සැම නිසල වූ කල පාවුල් හෙබ්‍රෙව් බසින් ඔවුන් අමතන්නට වන්නේ ය.

ක්‍රියා 21:35-40 Sinhala Revised Old Version (SROV)

පාවුල් එහි තිබුණු පඩිපෙළ පිටට පැමිණි කල, සමූහයාගේ බලාත්කාරය නිසා හේවායන් විසින් ඔහු උසුලාගෙනයන්ට සිදුවිය. මක්නිසාද: ඔහු නැතිකරන්නැයි ජන සමූහයා මොරගසමින් පස්සෙන් ගියෝය. පාවුල් කොටුව ඇතුළට ගෙනයනු ලබද්දී: ඔබට වචනයක් කියන්ට මට අවසර ඇද්දැයි ඔහු අධිපතියාගෙන් ඇසුවේය. එවිට ඔහු: නුඹට ග්‍රීක් භාෂාව පුළුවන්ද? එසේ නම් මේ දවස්වලට පළමුවෙන් කැරලිගස්වා මිනීමරන්නන් සාරදහසක් වනයට ගෙන ගියාවූ මිසරයා නුඹ නොවේදැයි ඇසුවේය. නුමුත් පාවුල්: මම නම් කීර්තිමත් නුවරක් වන කිලිකියේ තාර්සස්හි යුදෙව්වෙක්ය. සෙනඟට කථාකරන්ට මට අවසරදෙන මෙන් ඔබගෙන් ඉල්ලමියි කීවේය. ඔහු අවසරදුන් කල, පාවුල් පඩිපෙළ මත්තේ සිට සෙනඟට අතින් සංඥාකෙළේය; මහත් නිශ්ශබ්දයක් වූ කල ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් කථාකරමින්

ක්‍රියා 21:35-40 Sinhala New Revised Version (NRSV)

පාවුලු එහි තිබුණු පඩි පෙළ උඩට පැමිණි කල, සමූහයාගේ බලහත්කාරකම නිසා හේවායන්ට ඔහු උසුලා ගෙන යන්නට සිදු විය. මන්ද, “මොහු මරාදමන්නැ”යි මොරගසමින් ජනකාය ඔවුන් පස්සෙන් ගියහ. පාවුලු බලකොටුව ඇතුළට ගෙනයනු ලබද්දී, “ඔබට වචනයක් කීමට අවසර ඇද්දැ”යි ඔහු සේනාධිපතියාගෙන් ඇසී ය. එවිට සේනාධිපතියා “ඔබ ග්‍රීක් භාෂාව දන්නෙහි ද? එසේ නම් මෑත දී කැරැල්ලක් ඇති කර, ත්‍රස්තවාදීන් සාරදහසක් වනයට ගෙන ගිය මිසර ජාතිකයා ඔබ නොවේ දැ”යි ඇසී ය. එහෙත් පාවුලු පිළිතුරු දෙමින්, “මම නම් සත්කීර්තිමත් නුවරක් වන සිලිසියාවේ තාර්සස්හි ජුදෙව්වෙක්මි. සෙනඟ අමතා කතා කිරීමට අවසර දෙන ලෙස ඔබගෙන් ඉල්ලමි”යි කී ය. ඔහු අවසර දුන් කල, පාවුලු පඩි පෙළ මත්තේ සිට සෙනඟට අතින් සංඥා කෙළේ ය. මහා නිශ්ශබ්දතාවයක් ඇති විය. ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් ඔවුන් අමතා

ක්‍රියා 21:35-40 Sinhala New Revised Version 2018 (SNRV)