2 සාමුවෙල් 5:1-5

2 සාමුවෙල් 5:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මුළු ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ, දාවිත් වෙත හෙබ්‍රොන්ට පැමිණ, ඔහු අමතමින්, “මෙන්න, අප ඔබේ ම ඇට හා මාංශයි. සාවුල් අපට රජකම් කළ ඉකුත් සමයේදීත්, ඉශ්‍රායෙල් යුධ මෙහෙයුම්වල පෙරමුණ ගත්තේ ඔබයි. ස්වාමින්වහන්සේ ඔබට කතා කොට, ‘ඔබ, මගේ ඉශ්‍රායෙල් ජනයාට එඬේරාණන් වනු ඇත; මගේ ඉශ්‍රායෙල් ජනයාගේ පාලකයා වන්නේ ය’ කියා කී සේකැ” යි කීහ. ඉශ්‍රායෙල් සියලු වැඩිහිටියන් හෙබ්‍රොන්හි රජු වෙත ආ කල, දාවිත් රජු හෙබ්‍රොන්හි දී ස්වාමින්වහන්සේ අබියස ඔවුන් සමඟ ගිවිසුමක් කළේ ය. ඔවුහු ඉශ්‍රායෙල් රජු වශයෙන් දාවිත් ආලේප කළහ. රජකමට පත් වන විට තිස් අවුරුදු වයස් ව සිටි දාවිත් අවුරුදු හතළිහක් රජකම් කළේ ය. ඔහු හෙබ්‍රොන්හි හත් අවුරුදු හය මසක් යූදා වෙත රජකම් කළේ ය. පසුව යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් මුළු ඉශ්‍රායෙල් හා යූදා කෙරේ රජකම් කළේ ය.

2 සාමුවෙල් 5:1-5 Sinhala Revised Old Version (SROV)

එකල සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙතට ඇවිත්: අපි ඔබගේ ඇට හා මාංසයත්ය. පසුගිය කාලයේ සාවුල් අප කෙරෙහි රජ ව සිටි කල්හි ඉශ්‍රායෙල්වරුන් පිටතට ගෙනගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබමය. ස්වාමීන්වහන්සේ ඔබට කථාකොට–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනය කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි කීසේකැයි කීවෝය. මෙසේ ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙතට පැමිණියෝය; දාවිත් රජද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. ඔව්හු දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජ කොට ආලේපකළෝය. දාවිත් රජවෙන කල තිස් අවුරුදු වයස් වූයේය, ඔහු සතළිස් අවුරුද්දක් රජකම්කෙළේය. ඔහු හෙබ්‍රොන්හි යූදාවරුන් කෙරෙහි රජකම්කළේ සත් අවුරුදු හමාසයක්ය, යෙරුසලමේ ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද කෙරෙහි රජකම්කළේ තිස්තුන් අවුරුද්දක්ය.

2 සාමුවෙල් 5:1-5 Sinhala New Revised Version (NRSV)

එකල සියලු ඉශ්රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත අවුත්, “අපි ඔබේ ම ලේ නෑයෝ වමු. පසු ගිය කාලයේ දී, සාවුල් අපේ රජ ව සිටි කාලයෙහි ඉශ්රායෙල්වරුන් සටනට ගෙන ගියේත්, ඔවුන් ආපසු ගෙනාවේත් ඔබ ම ය. සමිඳාණන් වහන්සේ ඔබට කතා කොට, ‘නුඹ මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරමින්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහි ය’යි වදාළ සේකැ”යි කීවෝ ය. මෙසේ ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙත පැමිණියෝ ය. දාවිත් රජු හෙබ්‍රොන්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඔව්හු දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කළෝ ය. දාවිත් රජකමට පත් වුණ විට ඔහුගේ වයස අවුරුදු තිහකි. ඔහු සතළිස් අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහු හෙබ්‍රොන්හි ජුදෙව්වරුන් කෙරෙහි රජකම් කෙළේ සත් අවුරුදු හය මාසයකි; ජෙරුසලමේ ඔහු සියලු ඉශ්රායෙල්වරුන් ද ජුදෙව්වරුන් ද කෙරෙහි රජකම් කෙළේ තිස්තුන් අවුරුද්දකි.

2 සාමුවෙල් 5:1-5 Sinhala New Revised Version 2018 (SNRV)