2 රාජාවලිය 4:1-4

2 රාජාවලිය 4:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දිවැසිවර කණ්ඩායමේ කෙනකුගේ බිරිඳ එලීෂා අමතමින්, “ඔබගේ සේවක, මගේ සැමියා මිය ගිහින්. ඔහු ස්වාමින්වහන්සේට ගෞරව කළ කෙනකු වග ඔබ දන්නවා. ඒත් දැන් ඔහුගේ ණය හිමියා මගේ පුතුන් දෙදෙනා ඔහුගේ දාසයින් ලෙස ගෙන යන්නට ඇවිත් යැ” යි මොර ගෑවා ය. එලීෂා ඇයට පිළිතුරු දෙමින්, “මා ඔබට කළ යුත්තේ කුමක් ද? කියන්න මට මොනවද ඔබේ ගෙදර තියෙන්නේ?” යි ඇසී ය. “ඔබේ දාසිය ළඟ ගෙදර කිසිවක් ම නැහැ; ඇත්තේ තෙල් කුළාවක් පමණකැ” යි ඈ පැවසුවා ය. එවිට ඔහු, “යන්න, අහළ පහළ ඔබේ අසල්වාසී සියල්ලන්ගෙන් හිස් භාජන ඉල්ලා ගන්න. භාජන ස්වල්පයක් නො වෙයි. ඉන්පසු ඔබ හා ඔබේ පුතුන් ගෙතුළට ගොස්, දොර වසාගෙන, සියලු භාජනවලට තෙල් පුරවන්න. එක් එක් භාජනය පිරුණු විට, එය පසෙක තබන්නැ” යි කීවේ ය.

2 රාජාවලිය 4:1-4 Sinhala Revised Old Version (SROV)

ප්‍රොපේත පුත්‍රයන්ගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියෙක් එලිෂාට මොරගසා: ඔබගේ මෙහෙකරුවූ මාගේ පුරුෂයා මළේය. ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි බව ඔබ දන්නෙහිය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්ට ඇවිත් සිටීයයි කීවාය. එලිෂා කථාකොට: මම නුඹට කුමක්කරම්ද? ගෙයි නුඹට තිබෙන්නේ මොනවාදැයි මට කියන්නැයි ඈට කීවේය. තෙල් කුළාවක් මිස ගෙයි වෙන කිසිවක් ඔබගේ දාසියට නැතැයි ඈ කීවාය. එවිට ඔහු: නුඹ පිටත ගොස් නුඹේ සියලු අසල්වාසීන්ගෙන් භාජන එනම් හිස් භාජන බොහොමයක් ඉල්ලා ගන්න. නුඹත් නුඹේ පුත්‍රයනුත් ඇතුල්වී දොර පියාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත්කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැයි කීවේය.

2 රාජාවලිය 4:1-4 Sinhala New Revised Version (NRSV)

දිවැසිවර කණ්ඩායමේ අයගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියක් එලිෂාට මොරගසා, “ඔබේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මළේ ය. ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි බව දන්නෙහි ය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්න අවුත් සිටී ය”යි කීවා ය. එලිෂා කතා කොට, “මම ඔබට කුමක් කරම් ද? ගෙදර ඔබට තිබෙන්නේ මොනවා දැ යි මට කියන්නැ”යි ඈට කී ය. “තෙල් කුළාවක් මිස ගෙදර වෙන කිසිවක් ඔබේ දාසියට නැතැ”යි ඈ කීවා ය. එවිට ඔහු කතා කොට, “ඔබ පිටතට ගොස් ඔබේ සියලු අසල්වැසියන්ගෙන් භාජන එනම්, හිස් භාජන බොහොමයක් ඉල්ලාගන්න. ඔබත්, ඔබේ පුත්‍රයනුත් ගෙදරට ඇතුළු වී දොර වසාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත් කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැ”යි කීවේ ය.

2 රාජාවලිය 4:1-4 Sinhala New Revised Version 2018 (SNRV)

දිවැසිවර කණ්ඩායමේ අයගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියක් එලිෂාට මොරගසා, “ඔබේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මළේ ය. ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි බව දන්නෙහි ය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්න අවුත් සිටී ය”යි කීවා ය. එලිෂා කතා කොට, “මම ඔබට කුමක් කරම් ද? ගෙදර ඔබට තිබෙන්නේ මොනවා දැ යි මට කියන්නැ”යි ඈට කී ය. “තෙල් භාජනයක් මිස ගෙදර වෙන කිසිවක් ඔබේ දාසියට නැතැ”යි ඈ කීවා ය. එවිට ඔහු කතා කොට, “ඔබ පිටතට ගොස් ඔබේ සියලු අසල්වැසියන්ගෙන් භාජන එනම්, හිස් භාජන බොහොමයක් ඉල්ලාගන්න. ඔබත්, ඔබේ පුත්‍රයනුත් ගෙදරට ඇතුළු වී දොර වසාගෙන, ඒ සියලු භාජනවල තෙල් වත් කොට, පිරුණු ඒවා පැත්තක තබන්නැ”යි කීවේ ය.