2 කොරින්ති 5:1-11

2 කොරින්ති 5:1-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අපගේ භූමික නිවාසය වන කූඩාරම විනාශ කරනු ලැබුවත්, මිනිස් අතින් නො සෑදුණු ස්වර්ගයේ සදාතනික නිවසක් වූ ගොඩනැගිල්ලක් දෙවියන්වහන්සේගෙන් අපට තිබෙන වග අපි දනිමු. මන්ද ඒ ස්වර්ගීය නිවහන පැලඳ ගැනීමේ දැඩි ආශාවෙන් මේ කූඩාරමේ සිටියදී අපි කෙඳිරි ගාන්නෙමු. ඇත්තෙන් ම අප එය පැලඳගත් කල, අප නග්න ව සිටින වගක් නො පෙනෙනු ඇත. මන්ද තවමත් මේ කූඩාරමේ සිටියදී බර දරමින් අප කෙඳිරි ගාන්නේ, නිරාවරණ වන්නට නො ව, මැරෙන සුළු වූ දේ ජීවනය මගින් ගිල දමනු පිණිස වඩාත් හඳවනු ලබන්නට ය. මේ අරමුණ සඳහා ම අප පිළියෙල කළේ, ඇපයක් වශයෙන් ආත්මයාණන් අපට දුන් දෙවියන්වහන්සේ ම ය. එබැවින් හැම විට අප සිටින්නේ නියත ධෛර්යයෙනි. ශරීරය තුළ අප මෙම නිවහනේ සිටියදී ස්වාමින්වහන්සේගෙන් අප දුරස්ථ ව සිටින බව අපි දනිමු. මන්ද අප ජීවත් වන්නේ ඇදහිල්ලෙනි; දැකීමෙන් නො වේ. අප පවසන්නේ නිසැක ධෛර්යයෙන් සිටින වග හා මේ ශරීරයෙන් වෙන් ව, ස්වාමින්වහන්සේ සමඟ විසීමට වඩාත් කැමති වග ය. එබැවින් අපි ශාරීරික නිවසේ සිටියත්, පිටත සිටියත් ස්වාමින්වහන්සේ සතුටු කිරීම අපගේ අරමුණ කර ගන්නෙමු. මන්ද ශරීරයේ සිටියදී හොඳ හෝ නරක හෝ වේවා, එකිනෙකා කළ කළ දේ අනුව පල විපාක ලබන පිණිස, අප සියල්ලන් ම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චය ආසනය ඉදිරියේ පෙනී සිටිය යුතු ම ය. එනිසා ස්වාමින්වහන්සේට භයවීම කුමක් දැයි දන්නා අපි, මිනිසුන්ට ඒත්තු ගැන්වීමට වැර දරන්නෙමු. අප කවුරුන්දැයි දෙවියන්වහන්සේ දන්නා සේක. අප කවුරුන්දැයි ඔබේ හෘදය සාක්ෂියත් එලෙස ම දන්නේය යනු මගේ බලාපොරොත්තුවයි.

2 කොරින්ති 5:1-11 Sinhala Revised Old Version (SROV)

කූඩාරමක්වූ අපේ භූමික ගෙය කඩාවැටුණත් දෙවියන්වහන්සේගෙන්වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවාවූ සදාකාලිකවූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමුව. මක්නිසාද මේකේදී අපි කෙඳිරිගාමින් අපගේ ස්වර්ගීය වාසස්ථානය පැළඳගන්ට ආශාවමුව. මෙසේ වූ කල්හි අපි පළඳනලදුව, නග්නව සිටිනවා දකිනු නොලබමුව. එසේය, මේ කූඩාරමේ සිටින්නාවූ අපි බර උසුලමින් කෙඳිරිගාමුව; මක්නිසාද පැළඳීම අහක දමන්ට නොව මරණීයවූ එක ජීවනයෙන් ගිලිනු ලබන පිණිස, අපි පළඳිනු ලබන්ට කැමැත්තෙමුව. ඉදින් මේ පිණිසම අප පිළියෙළකළේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ ආත්මයාණන් නමැති අත්තිකාරම අපට දුන්සේක. අපි ශරීරය නමැති ගෙදර සිටින විට ස්වාමීන්වහන්සේගෙන් ඈත්ව සිටින බව දැන නිතරම ධෛර්යවත්ව සිටිමුව. (මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.) එසේය, අපි ධෛර්යවත්ව, ශරීරයෙන් ඈත්ව ස්වාමීන්වහන්සේ සමඟ සිටින්ට වඩා කැමැතිවෙමුව. එහෙයින් උන්වහන්සේ වෙත සිටින නුමුත් ඈත්ව සිටින නුමුත් උන්වහන්සේට ප්‍රසන්නවූ තැනැත්තන් වීම අපේ අභිප්‍රාය කරගනිමුව. මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළාවූ දේවල ඵල, ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත්, කළ දේවල හැටියට ලබන පිණිස, අප සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි ප්‍රකාශවෙන්ට ඕනෑය. එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම කිමෙක්දැයි දන්නාවූ අපි මනුෂ්‍යයන් පොලඹවමුව, නුමුත් අපි දෙවියන්වහන්සේට ප්‍රකාශකරනු ලැබ සිටිමුව; නුඹලාගේ හෘදයසාක්ෂිවලටද අපි ප්‍රකාශව සිටිමුයයි විශ්වාසකරමි.

2 කොරින්ති 5:1-11 Sinhala New Revised Version (NRSV)

කූඩාරමක් වන අපගේ භෞමික නිවාසය ගරා වැටුණත්, දෙවියන් වහන්සේගෙන් වන, අතින් නොතැනූ, සදාතන නිවාසයක් ස්වර්ගයෙහි අපට ඇති බව අපි දනිමු. මෙහි දී අපි ස්වර්ගීක නිවාසයේ ආවරණය ලබාගැනීමේ දැඩි ආශාවෙන් සුසුම්ලමු. මෙය ලබාගත් විට අපි ආවරණ රහිත ව නොසිටිමු. කූඩාරමක් වැනි මේ ශරීරයෙහි සිටින තුරු, අපි දුක් බරින් සුසුම්ලමු. අපගේ ආශාව නම් ආවරණ රහිත ව සිටීම නොව, මැරෙනසුලු දේ ජීවනයට පරිවර්තනය වන පිණිස ආවරණ සහිත ව සිටීම ය. මෙය සඳහා අප සූදානම් කළේ දෙවියන් වහන්සේ ම ය. එහි අත්තිකාරම වශයෙන් උන් වහන්සේ අපට ශුද්ධාත්මයාණන් ප්‍රදානය කළ සේක. එබැවින් අපි සැම විට ම ධෛර්යයෙන් සිටිමු. ශරීරය නමැති නිවාසයෙහි සිටින තුරු, අපි සමිඳාණන් වහන්සේගෙන් ඈත් ව සිටින බව දනිමු. අප ජීවත් වනුයේ දැකීමෙන් නොව, ඇදහීමෙන් ය. අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. ශරීරය නමැති නිවාසයෙන් ඈත් වී සමිඳාණන් වහන්සේ තුළ විසීමට අපි වඩාත් කැමැති වෙමු. ඒ නිසා අපි, එහි වේවා, මෙහි වේවා, කොයි නිවාසයෙහි සිටියත්, සමිඳාණන් වහන්සේ ප්‍රසන්න කිරීමට වඩාත් ආශා වෙමු. මන්ද, අපි සියලුදෙනා ම තම තමාගේ ශාරීරික ජීවිතයේ දී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස, ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටීමට නියම ව සිටිමු. සමිඳාණන් වහන්සේ කෙරෙහි බිය වීම කුමක් දැ යි අප දන්නා බැවින් මිනිසුන්ට කරුණු පහදා දීමට අපි උත්සාහ කරමු. දෙවියන් වහන්සේට අපේ නියම ස්වභාවය පැහැදිලි ව පෙනේ. එලෙස ම ඔබටත් පෙනෙනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.

2 කොරින්ති 5:1-11 Sinhala New Revised Version 2018 (SNRV)