1 සාමුවෙල් 3:1-14 - Compare All Versions
1 සාමුවෙල් 3:1-14 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යොවුන් සාමුවෙල්, ඒලී යටතෙහි ස්වාමින්වහන්සේට මෙහෙ කළේ ය. එදවස්හි ස්වාමින්වහන්සේගේ වචනය දුර්ලභ විය. දේව දර්ශන ද බහුල නො වී ය. මේ වන විට ඇස් නො පෙනෙන තරමට ඇස්වල පෙනීම දුර්වල වී සිටි ඒලී, තමන් සුපුරුදු තැන සැතපී හුන්නේ ය. දෙවියන්වහන්සේගේ පහන, තවමත් නො නිවී තිබිණ. දෙවියන්වහන්සේගේ කරඬුව තිබූ ස්වාමින්වහන්සේගේ මාලිගයේ සාමුවෙල් සැතපී සිටියේ ය. එවිට ස්වාමින්වහන්සේ සාමුවෙල්ට හඬ ගැසූ සේක. “මම මෙහේ” යි පිළිතුරු දුන් සාමුවෙල්, ඒලී වෙත දුවගෙන ගොස්, “මෙන්න මම; ඔබ මට හඬ ගැසුවා” යි කීවේ ය. එහෙත් ඒලී පිළිතුරු දෙමින්, “මා හඬ ගැසුවේ නෑ. ආපසු නිදා ගන්නැ” යි කීවේ ය. එබැවින් ඔහු ආපසු ගොස්, නිදා ගත්තේ ය. ස්වාමින්වහන්සේ යළිත් වරක්, “සාමුවෙල්” කියා හඬ ගැසූ සේක. සාමුවෙල් නැගිට, ඒලී වෙත ගොස්, “මෙන්න මම; ඔබ මට කතා කළා” යි කීවේ ය. ඒලී පිළිතුරු දෙමින්, “මා කතා කළේ නෑ මා පුත. ආපසු නිදා ගන්නැ” යි කීවේ ය. සාමුවෙල් ඒ වන විටත් ස්වාමින්වහන්සේ හැඳින සිටියේ නැත. ස්වාමින්වහන්සේගේ වචනය ඒ වන තුරුත් ඔහුට එළිදරවු කර නො තිබිණ. ස්වාමින්වහන්සේ තුන් වන වරට සාමුවෙල්ට යළි හඬ ගැසූ සේක. සාමුවෙල් නැගිට, ඒලී වෙත ගොස්, “මෙන්න මම, ඔබ මට හඬ ගැසුවා” යි කීවේ ය. එවිට, ස්වාමින්වහන්සේ ළමයාට හඬ ගසන වග ඒලී වටහා ගත්තේ ය. එබැවින් සාමුවෙල් ඇමතූ ඒලී, “ගොසින් නිදා ගන්න. උන්වහන්සේ ඔබට කතා කළොත්, ‘කතා කරනු මැන, ස්වාමින්වහන්ස, ඔබගේ සේවකයා අසා සිටීය’ කියා කියන්නැ” යි කීවේ ය. එබැවින් සාමුවෙල් ගොස්, තමාගේ ස්ථානයේ නිදා ගත්තේ ය. එවිට ස්වාමින්වහන්සේ අවුත්, එහි සිට, පෙර වතාවලදී මෙන්, “සාමුවෙල්! සාමුවෙල්!” යැයි හඬ ගැසූ සේක. එවිට සාමුවෙල්, “කතා කළ මැනවි. ඔබේ සේවකයා අසා සිටින්නේ යැ” යි පැවසී ය. ස්වාමින්වහන්සේ සාමුවෙල් ඇමතූ සේක්, “මෙන්න! ඒ ගැන අසන හැම කෙනකුගේ ම කන් පුපුරු ගස්වන දෙයක් මම ඉශ්‍රායෙල්හි කරන්නට යන්නෙමි. ඒලීගේ වංශයට එරෙහිව මා පවසා ඇති හැම දෙයක් ම, මුල පටන් අග දක්වා ඔහුට එරෙහිව ක්‍රියා කරන්නෙමි. ඔහුත් දැන සිටි පාපය නිසා, සදහට ම ඔහුගේ පෙළපතට මා දඬුවම් කරන වග මම ඔහුට කියා ඇත්තෙමි. මන්ද ඔහුගේ පුත්තු, තුමූම නීච භාවයට පත් වන අතර ඔහු ඔවුන් වළක්වා ගත්තේ නැත. එබැවින් ඒලීගේ වංශයේ අපරාධය, යාග පූජාවකින් හෝ පඬුරු පූජාවකින් කිසි කල පාප වන්දි නිවාරණයක් කළ නො හැකි වගට ඒලීගේ වංශයට මම දිවුරමි” යි පැවසූ සේක.
1 සාමුවෙල් 3:1-14 SROV (Sinhala Revised Old Version)
සාමුවෙල් නම් ළමයා ඒලී ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට සේවයකෙළේය. ඒ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ වචනය දුර්ලභවිය; දර්ශන බොහොමයක්ද නොවීය. ඒ කාලයේ ඒලීගේ ඇස් හරියාකාර නොපෙනෙන ලෙස අඳුරුවෙන්ට පටන්ගෙන තිබුණේය. එකල ඒලී තමාගේ ස්ථානයෙහි සැතපෙද්දීත්, දෙවියන්වහන්සේගේ පෙට්ටිය තිබුණාවූ ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සාමුවෙල් නිදා ඉඳිද්දීත්, දෙවියන්වහන්සේගේ පහන නිවෙන්ට පළමුවෙන්, ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට හඬගැසූසේක. ඔහු: මම මෙහියයි කියා, ඒලී ළඟට දිවගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. ඔහුද: මම හඬනොගැසීමි; නැවත නිදාගන්නැයි කීවේය. ඔහු ගොස් නිදාගත්තේය. ස්වාමීන්වහන්සේ නැවතත්: සාමුවෙල් කියා හඬගැසූසේක. සාමුවෙල් නැගිට ඒලී ළඟට ගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. මාගේ පුත්‍රය, මම හඬනොගැසීමි; නැවතත් නිදාගන්නැයි ඔහු කීවේය. සාමුවෙල් ඒ වෙන තුරු ස්වාමීන්වහන්සේ නොහැඳින්නේය, ඒ වෙන තුරු ස්වාමීන්වහන්සේගේ වචනයද ඔහුට එළිදරව්නොවීය. ස්වාමීන්වහන්සේ තුන්වෙනි වරත් නැවත සාමුවෙල්ට හඬගැසූසේක. ඔහු නැගිට ඒලී ළඟට ගොස්: මම මෙහිය; ඔබ මට හඬගැසුවායයි කීය. එවිට ස්වාමීන්වහන්සේ ළමයාට හඬගසන බව ඒලී දැනගත්තේය. එබැවින් ඒලී සාමුවෙල්ට කථාකොට: නුඹ ගොස් නිදාගන්න. නුඹට හඬගැසුවොත්– ස්වාමීන්වහන්ස, කථාකළමැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවාය කියා කියන්නැයි කීවේය. සාමුවෙල් ගොස් තමාගේ ස්ථානයෙහි නිදාගත්තේය. ස්වාමීන්වහන්සේ ඇවිත් සිට වෙන වතාවලදී මෙන්: සාමුවෙල්, සාමුවෙල් කියා හඬගැසූසේක. එවිට සාමුවෙල්: කථාකළ මැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවායයි කීවේය. ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මෙන්න, මම ඉශ්‍රායෙල්හි කාරණයක් කරන්නෙමි, ඒක අසන සියල්ලන්ගේ කන් දෙක ලෙළදෙන්නේය. මා විසින් ඒලීගේ වංශය ගැන කී සියල්ලම මුල පටන් අග දක්වා ඒ දවසේදී ඒලීට විරුද්ධව ඉෂ්ටකරන්නෙමි. ඔහුගේ පුත්‍රයන් තමුන් පිටට ශාපයක් පමුණුවාගන්න බව ඔහු දැනගනත් ඔවුන් නොවැලැක්වූ අපරාධය නිසා මම ඔහුගේ වංශය සෑමකල්ම විනිශ්චයකරන්නෙමියි ඔහුට දැන්වීමි. එබැවින් ඒලීගේ වංශයේ අපරාධය පූජා වෙන්වත් පඬුරෙන්වත් කිසිකලක පහකරනු නොලබන්නේය කියා ඒලීගේ වංශයට මා දිවුරා තිබේයයි කීසේක.
1 සාමුවෙල් 3:1-14 NRSV (Sinhala New Revised Version)
ළමා වියේ සිටි සාමුවෙල් ඒලී යටතේ සමිඳාණන් වහන්සේට සේවය කෙළේ ය. ඒ කාලයේ දී සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩ දුර්ලභ විය; දර්ශන ද විරල විය. දැන් ඒලීගේ ඇස් හරියාකාර නොපෙනෙන තරමට අඳුරුවන්නට පටන්ගෙන තිබුණේ ය. දිනක් ඔහු සිය කාමරයෙහි සැතපෙමින් සිටියේ ය. සාමුවෙල් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තිබුණු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයෙහි නිදාගෙන සිටියේ ය. එහි පහන එතෙක් දැල්වෙමින් තිබුණේ ය. එවිට සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කී ය. එසේ කියා, ඒලී ළඟට දිව ගොස්, “ඔබ මට අඬගැසුවෙහි ය. මම මෙහි ය”යි කීවේ ය. ඒලී ද, “මම අඬ නොගැසීමි; නැවත නිදාගන්නැ”යි කීවේ ය. ඔහු ගොස් නිදාගත්තේ ය. සමිඳාණන් වහන්සේ නැවතත්, “සාමුවෙල්” කියා අඬගැසූ සේක. සාමුවෙල් නැඟිට ඒලී ළඟට ගොස්, “ඇත්තට ම ඔබ මට අඬගැසුවෙහි ය; මෙන්න, මම මෙහි ය”යි කී ය. එහෙත්, ඒලී පිළිතුරු දෙමින්, “මාගේ පුත්‍රය, මම අඬ නොගැසීමි, නැවතත් නිදාගන්නැ”යි කීවේ ය. සාමුවෙල් ඒ වන තුරු සමිඳාණන් වහන්සේ දැන සිටියේ නැත. ඒ වන තුරු සමිඳාණන් වහන්සේගේ වචන ඔහුට එළිදරව් නො වී ය. සමිඳාණන් වහන්සේ යළිත් තුන් වන වරටත් සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු නැඟිට ඒලී ළඟට ගොස්, “ඔබ මට කතා කෙළෙහි ය. මෙන්න, මම මෙහි ය”යි කී ය. එවිට, සමිඳාණන් වහන්සේ ළමයාට අඬගසන බව ඒලී තේරුම් ගත්තේ ය. එබැවින් ඒලී සාමුවෙල්ට කතා කොට, “ඔබ ගොස් නිදාගන්න. ඔබට නැවත අඬගැසුවොත්, ‘සමිඳාණන් වහන්ස, කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා’යි කියන්නැ”යි කීවේ ය. සාමුවෙල් ගොස් තමාගේ යහනේ නිදාගත්තේ ය. එවිට සමිඳාණන් වහන්සේ වැඩම කර, පළමු වතාවල දී මෙන්, “සාමුවෙල්, සාමුවෙල්,” කියා අඬගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, “කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා ය”යි කීවේ ය. සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට මෙසේ වදාළ සේක: “මෙන්න, මම ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව කරන්නට යන දේ; ඒ ගැන අසන සියල්ලන්ගේ කන් දෙක ලෙල දෙන්නේ ය. මා ඒලීගේ වංශය ගැන කී සියල්ල ම, මුල පටන් අග දක්වා, ඒ දවසේ දී ඒලීට විරුද්ධ ව ඉෂ්ට කරන්නෙමි. ඒලීගේ පුත්‍රයන් තමන් පිට සාපයක් පමුණුවා ගන්න බව ඔහු දැනගෙන සිටිය දී, ඔවුන් නොවැළැක්වීමේ අපරාධය නිසා මම ඔහුගේ වංශයට සෑම කල්හි ම දඬුවම් කරන්නෙමි යි මම ඔහුට දැන්වීමි. එබැවින් ඒලීගේ වංශයේ අපරාධය කිසි යම් පූජාවකින් වත්, පඬුරකින් වත් පහකළ නොහැකි බව මා දිවුරා ඇත.”
1 සාමුවෙල් 3:1-14 SNRV (Sinhala New Revised Version 2018)

1 සාමුවෙල් 3:1-14 NIV (New International Version)
The boy Samuel ministered before the LORD under Eli. In those days the word of the LORD was rare; there were not many visions. One night Eli, whose eyes were becoming so weak that he could barely see, was lying down in his usual place. The lamp of God had not yet gone out, and Samuel was lying down in the house of the LORD, where the ark of God was. Then the LORD called Samuel. Samuel answered, “Here I am.” And he ran to Eli and said, “Here I am; you called me.” But Eli said, “I did not call; go back and lie down.” So he went and lay down. Again the LORD called, “Samuel!” And Samuel got up and went to Eli and said, “Here I am; you called me.” “My son,” Eli said, “I did not call; go back and lie down.” Now Samuel did not yet know the LORD: The word of the LORD had not yet been revealed to him. A third time the LORD called, “Samuel!” And Samuel got up and went to Eli and said, “Here I am; you called me.” Then Eli realized that the LORD was calling the boy. So Eli told Samuel, “Go and lie down, and if he calls you, say, ‘Speak, LORD, for your servant is listening.’ ” So Samuel went and lay down in his place. The LORD came and stood there, calling as at the other times, “Samuel! Samuel!” Then Samuel said, “Speak, for your servant is listening.” And the LORD said to Samuel: “See, I am about to do something in Israel that will make the ears of everyone who hears about it tingle. At that time I will carry out against Eli everything I spoke against his family—from beginning to end. For I told him that I would judge his family forever because of the sin he knew about; his sons blasphemed God, and he failed to restrain them. Therefore I swore to the house of Eli, ‘The guilt of Eli’s house will never be atoned for by sacrifice or offering.’ ”