සෙෆනියා 3:9-20

සෙෆනියා 3:9-20 SCV

“එයින් පසු, ජාතීන් සැවොම ස්වාමින්වහන්සේගේ නාමයෙන් හඬ ගසා, එක සිතින් උරෙන්-උර උන්වහන්සේට මෙහෙ කරන පිණිස, මම ඔවුන්ගේ තොල් පවිත්‍ර කරන්නෙමි. විසුරුවන ලද මගේ ජනයා වන මට නමස්කාර කරන්නන්, කූෂ් ගංගාවලට එහා සිට මට පූජා ගෙනෙනු ඇත. මා හට කරන ලද සියලු වැරදි ගැන ඒ දවසේ ඔබ ලජ්ජාවට පත් කරන්නේ නැත; මන්ද, තමන්ගේ මාන්නය ගැන ප්‍රීති වන්නන් මේ පුරවරයෙන් මම ඉවත් කරන්නෙමි. කිසි දින යළි ඔබ මගේ ශුද්ධ කන්දේදී උඩඟු නො වනු ඇත. එහෙත්, ස්වාමින්වහන්සේගේ නාමය තුළ සරණය සොයන, විනීතවූවන් හා නිහතමානීන් මම නුඹ තුළ ඉතිරි කරන්නෙමි. ඉශ්‍රායෙල් ඉතිරි ස්වල්ප දෙනා කිසි අයුක්තියක් නො කරනු ඇත. ඔවුන් බොරු කියනු නැත. ඔවුන්ගේ කතාවෙහි කිසි වංචාවක් ගැබ් නො වනු ඇත. ඔවුන් කා බී සැනසිල්ලේ හිඳිනු ඇත. ඔවුන් බිය ගන්වන්නට කෙනකු ද නො වනු ඇත.” එම්බා සියොන් දියණිය, ගී ගයන්න! එම්බා ඉශ්‍රායෙල්, ප්‍රීති ඝෝෂා නගන්න! එම්බා යෙරුසලම් දියණිය, ඔබේ මුළු හදින් ම ප්‍රීති වන්න; ප්‍රමෝද වන්න. ස්වාමින්වහන්සේ ඔබේ දඬුවම ඉවත් කළ සේක; උන්වහන්සේ ඔබේ සතුරන් ආපසු හැරවූ සේක. ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවන් වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ ය. යළි කිසි කල කිසි ආපදාවකට ඔබ බිය නො වේ. ඒ දවසේ ඔවුන් යෙරුසලමට මෙසේ කියනු ඇත: “එම්බා සියොන, බිය නො වන්න; ඔබගේ අත් එල්ලා නො වැටේවා. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අතරෙහි ය. උන්වහන්සේ ගලවන්නට බලවත් තැනැන්වහන්සේ ය. උන්වහන්සේ ඔබ ගැන ඉමහත් ව ප්‍රමෝද වන සේක; උන්වහන්සේ තම ප්‍රේමයෙන්, ඔබට තවත් තරවටු නො කරන සේක. උන්වහන්සේ ගී ගයමින්, ඔබ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.” “නියමිත මංගල්‍ය පිළිබඳ ශෝක වන්නන් ඔබ වෙතින් මම ඉවත් කරන්නෙමි. ඒවා ඔබට බරකි; අවලාදයකි. ඔබට පීඩා කළ සියල්ලන් සමඟ ඒ දවසේ මම ගණන් බේරන්නෙමි. මම කොරුන් මුදා ගෙන, විසුරුවනු ලැබූවන් රැස් කරන්නෙමි. ඔවුන් නින්දාවට පත් හැම දේශයකදී ම මම ඔවුන්ට ප්‍රශංසාවත්, ගෞරවයත් ගෙන දෙන්නෙමි. එකල්හි මම ඔබ එක් රැස් කරන්නෙමි. එකල්හි මම ඔබ ගෙදර ගෙනෙන්නෙමි. ඔබගේ ඇස් පනා පිට ම මම ඔබේ භාග්‍ය යළි ස්ථාපිත කරන කල, මිහි පිට සියලු ජනයා අතරේ මම ඔබට ගෞරවයත්, ප්‍රශංසාවත් ගෙන දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

මෙයට අදාළ වීඩියෝ

සෙෆනියා 3:9-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය