සෙකරියා 7:1-10

සෙකරියා 7:1-10 SCV

දාරෙයාවෙෂ් රජුගේ හතර වන අවුරුද්දේ නව වන මස, කිස්ලේව් මස හතර වන දා ස්වාමින්වහන්සේගේ වචනය සෙකරියා වෙත පැමිණියේ ය. මෙකල බෙතෙල්හි ජනයා, ස්වාමින්වහන්සේට කන්නලව් කරනු පිණිස සරෙසෙර් ද රෙගෙම්-මෙලෙක් ද සමඟ ඔවුන්ගේ මිනිසුන් යවා තිබිණි. ඔවුන් යවා තිබුණේ, “මේ සා අවුරුදු ගණනක් කළ පරිද්දෙන් පස් වන මස මා ශෝක වී, උපවාස කළ යුතු දැ?” යි සේනාංකවල ස්වාමින්වහන්සේගේ ගෘහයේ පූජකයින්ගෙන් හා දිවැසිවරුන්ගෙන් අසන පිණිස ය. එකල සේනාංකවල ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: “දේශයේ සියලු ජනයාගෙන් ද පූජකයින්ගෙන් ද මෙසේ අසන්න: ‘පසුගිය හැත්තෑ වසර පුරා පස් වන හා හත් වන මාසවල ඔබ උපවාස පවත්වා ශෝක වූ කල, සැබවින් ම ඔබ එසේ උපවාස පැවැත් වූයේ මා උදෙසා ද? ඔබ කෑම ගත් කල හා බීම ගත් කල, ඔබ කෑවේත්, බීවේත් ඔබ උදෙසා ම නො වේ ද? යෙරුසලම හා ඒ අවට වූ සෙසු නගර සාමය, සෞභාග්‍ය ඇති ව සිටියදී, දකුණු දිසාව හා බටහිර කඳු බෑවුම් ජනාවාස ව තිබියදී, එකල සිටි දිවැසිවරුන් ලවා ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළ වචනය මෙය ම නො වේ’ ද?” ස්වාමින්වහන්සේගේ වචනය සෙකරියා වෙත පැමිණියේ ය: “සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘සැබෑ යුක්තිය ඉටු කරන්න. එකිනෙකාට දයාවත්, කරුණාවත් දක්වන්න. වැන්දඹුවනට හෝ පියා නැති අනාථයිනට හෝ විජාතීනට හෝ දුගියනට හෝ පීඩා නො කරන්න. එකිනෙකාට එරෙහිව කූට උපා නො යොදන්න.’

මෙයට අදාළ වීඩියෝ