සෙකරියා 12

12
යෙරුසලමේ මිදීම
1දිව්‍ය ප්‍රකාශනයකි: ඉශ්‍රායෙල් පිළිබඳව ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ වෙයි.
අහස් විහිදවන, පොළෝ අත්තිවාරම දමන, මිනිසාගේ ආත්මය ඔහු තුළ හැඩ ගස්වන ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: 2“මෙන්න! මම යෙරුසලම, ඒ වටා පිහිටි ජනයින් වැනි වැනී යන්නට සලස්වන කුසලානක් කරන්නෙමි. යෙරුසලම වටලනු ලැබීම යූදා දේශයට ද එරෙහි වෙයි. 3ඒ දවසේ මම ජනයින්ට යෙරුසලම මහ බර ගලක් කරන්නෙමි. එය ඔසවන්නට තැත් දරන සියල්ලෝ තමන්ට ම හානි පමුණුවා ගනිති. පොළොවේ සියලු ජාතීන් ඊට එරෙහිව එක් රැස්වනු ඇත. 4ඒ දවසේ මම හැම අශ්වයකු කුලප්පු කිරීමෙන් ද අසු පදවන්නන් උමතු කිරීමෙන් ද ඔවුනට පහර දෙන්නෙමි. එහෙත් යූදා වංශය දෙස මගේ නෙත් යොමු කර ගෙන සිටිමි. මම එය රැකවල් කරමි. ජනයින්ගේ සියලු අශ්වයින් මම අන්ධ කරන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 5එවිට, යූදා ප්‍රධානීහු#12:5 ප්‍රධානීහු හෝ පෙළපත් තමන් අතරේ කතා කරමින්, “ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ තුළ යෙරුසලම් වැසියන් බලවත් ය” කියා කියනු ඇත.
6“මම ඒ දවසේ යූදාහි ප්‍රධානීහු, දර ගොඩක් ඇතුළෙහි ඇවිළෙන ගිනි කබලක් ද පිදුරු මිටි අතරේ ගිනි හුළක් ද කරන්නෙමි. ඔවුහු දකුණින් ද වමෙන් ද තමන් වටා වූ සියලු ජනයින් ද දවා දමන්නෝ ය. එහෙත් යෙරුසලම තුළ, යෙරුසලම තවදුරටත් පවතිනු ඇත.
7ස්වාමින්වහන්සේ පළමු කොට යූදා කූඩාරම්වලට ගැලවීම දෙන සේක. එසේ කරන්නේ, දාවිත්ගේ වංශයට හිමි ගෞරවය හා යෙරුසලම් වාසීන්ගේ ගෞරවය යූදාට වඩා උසස් නො වන පිණිස ය. 8ඒ දවසේ ස්වාමින්වහන්සේ යෙරුසලම් වාසීනට ආරක්ෂාව සලසන සේක. එකල ඔවුන් අතර ඉතාම දුබල අය පවා, දාවිත් වගේ වනු ඇත. දාවිත්ගේ වංශය ද දෙවියන්වහන්සේ මෙන්, ඔවුන්ට පෙරටුවෙන් යන ස්වාමින්වහන්සේගේ දූතයා මෙන් වනු ඇත. 9ඒ දවසේ මම යෙරුසලමට එරෙහිව එන සියලු ජාතීන් විනාශ කරන්නට බලන්නෙමි.
තමන් විසින් ඇන්න තැනැත්තා ගැන වැලපීම
10“තවද මම දාවිත් වංශය පිට හා යෙරුසලම් වාසීන් පිට අනුග්‍රහය හා දයාව ඉල්ලා කරන ආයාචනාත්මක ආත්මයක් වගුරු වන්නෙමි. එසේ කරන්නේ ඔවුන් මා දෙස බලන විට, තමන් විසින් ඇන, සිදුරු කරනු ලැබූ තැනැත්තාණන්, තුවාල කරන ලද තැනැත්තාණන් දෙස බලන විට තම එක ම දරුවා ගැන වැලපෙන්නකු සේ ඔවුන් එතුමන් ගැන වැලපෙන පිණිස ය; තම කුලුඳුල් පුත්‍රයා ගැන ශෝකවන්නකු සේ, ඔවුන් එතුමන් ගැන ශෝක වන පිණිස ය. 11ඒ දවසේ යෙරුසලමෙහි වැලපීම, මෙගිද්දෝ තැන්නේ හදද්-රිම්මෝන්#12:11 හදද්-රිම්මෝන් හෙවත් හදද්-රිම්මෝන් වෙනුවෙන් විය හැක. වැලපීමට සමාන මහත් වැලපීමක් වනු ඇත. 12දේශයේ එක් එක් පෙළපත, වෙන් වෙන් වශයෙන් වැලපෙනු ඇත. දාවිත්ගේ වංශයට අයත් පෙළපත, තම තමන් වෙනම ද ඔවුන්ගේ භාර්යාවන් වෙනම ද නාතාන්ගේ වංශයට අයත් පෙළපත, තම තමන් වෙනම ද ඔවුන්ගේ භාර්යාවන් වෙනම ද 13ලෙවී වංශයට අයත් පෙළපත, තම තමන් වෙනම ද ඔවුන්ගේ භාර්යාවන් වෙනම ද ෂිමෙයිගේ වංශයට අයත් පෙළපත, තම තමන් වෙනම ද ඔවුන්ගේ භාර්යාවන් වෙනම ද 14සෙසු සියලු වංශවලට අයත් පෙළපත්, තම තමන් වෙනම ද ඔවුන්ගේ භාර්යාවන් වෙනම ද වැලපෙනු ඇත.

දැනට තෝරාගෙන ඇත:

සෙකරියා 12: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න