සාලමොන්ගේ ගීතය 7

7
1අහෝ අධිපති දියණියනි,
වහන් සහිත ඔබේ පාද කොතරම් මනහර ද!
ඔබගේ වක්‍රාකාර කලවා,
ශිල්පීය අතකින් නිම කළ ආභරණයක් වගේ ය.
2ඔබේ නාභිය, මිශ්‍ර මිදි යුෂ හිඟ නො වන
වටකුරු පාත්‍රයක් වගේ ය;
ඔබගේ උදරය, මානෙල් මලින් වට වූ
තිරිඟු ගොඩක් වගේ ය.
3ඔබේ පියයුරු,
මුව දෙනකගේ නිවුන් පැටවුන් යුගලයක් වගේ ය.
4ඔබගේ ගෙල, ඇත්දත් කණුවක් වගේ ය;
ඔබගේ දෙනෙත, බැත්-රබ්බීම් දොරටුව පසෙක
හෙෂ්බෝන් පොකුණු වගේ ය.
ඔබගේ නාසය, දමස්කය පුරය දෙස බලා සිටින
ලෙබනොන් කුලුන වගේ ය.
5ඔබගේ හිස, කර්මෙල් කන්ද මෙන් ගරු ගාම්භීර ය.
ඔබගේ හිසකේ, රාජකීය ගෙත්තමක් වගේ ය;
එම කෙස් රොදට රජු වසඟ වේ.
6එම්බා ප්‍රියාවිය, ඔබගේ ප්‍රමෝදයන්හි ඔබ කොතරම් අලංකාර ද!
කොතරම් ප්‍රිය ජනක ද!
7ඔබගේ උස ප්‍රමාණය ඉඳි ගසක් වගේ ය;
ඔබගේ පියයුරු ඉඳි පොකුරු වගේ ය.
8මා කීවේ, “මම ඉඳි ගසට නැග,
එහි පල අල්ලන්නෙමි” කියා ය;
ඔබේ පියයුරු මිදි පොකුරු මෙන් වේවා;
ඔබේ හුස්මෙහි ඇපල් සුවඳ රැඳේවා;
9ඔබගේ මුව ඉස්තරම් මිදි යුෂ මෙන් වේවා!
ප්‍රේමවන්තිය
එම මිදි යුෂ මගේ පෙම්වතාගේ තොල් හා දත් අතරින්
මුදු-සිනිඳු ව ගලා බසීවා!
10මා අයිති මගේ ප්‍රේමවන්තයාට ය;
ඔහුගේ ආශාව මා කෙරේ ය.
11එන්න; මගේ පෙම්වත, ගම් පළාතට ගොස්,
ගම්මානයේ රැය ගත කරමු.
12අපි අරුණ උදයෙන් පිබිද, මිදි උයනට ගොස්,
මිදි වැල්වල දළු දමලා ද
ඒවායේ මල් පිපිලා ද
දෙළුම් ගස්වල මල් පිපිලාදැයි බලමු;
එහිදී මගේ ප්‍රේමය, මම ඔබට දෙන්නෙමි.
13මන්ද්‍රාගෝර මල් එහි සුවඳ විහිදවයි.
අපගේ ගේ-දොරකඩ
පැරණි සේ ම අලුත් සෑම අනර්ඝ පලතුරු
මා එකතු කර ඇත්තේ ඔබට ය, මගේ පෙම්වත.

දැනට තෝරාගෙන ඇත:

සාලමොන්ගේ ගීතය 7: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න