සාලමොන්ගේ ගීතය 4:9-16
සාලමොන්ගේ ගීතය 4:9-16 SCV
ඔබ මගේ හද සොරාගෙන, මගේ නගේ; මගේ මනාලියේ, එක ම එක නෙතු බැල්මකින්, ඔබේ ගෙල මාලයේ එක් මැණිකකින් මගේ හද ඔබ සොරාගෙන. කොතරම් ප්‍රමෝද ජනක ද ඔබේ ආදරය මගේ නගේ; මගේ මනාලියේ, ඔබගේ ප්‍රේමය මිදි යුෂවලටත් වඩා කොතරම් ප්‍රිය ජනක ද! ඔබගේ විලවුන් සුවඳ ඕනෑ ම සුවඳ ද්‍රව්‍යකටත් වඩා කෙතරම් අගනේ ද! මී වදයකින් මෙන් ඔබේ දෙතොලින් මිහිර වැගිරෙයි; මගේ මනාලිය, කිරිත්, පැණිත් ඔබේ දිව යට ඇත. ඔබේ ඇඳුම්වල සුගන්ධය ලෙබනොන්හි සුගන්ධය වගෙයි. ඔබ, අගුළු ලා වැසූ උයනක් ය, මගේ නගේ; මගේ මනාලියේ, ඔබ, වට කරන ලද දිය උල්පතක් ය; මුද්‍රා තැබූ ජලාශයක් ය. ඔබගේ වගාව දෙළුම් ද අනගිතම පලතුරුවලින් ද සේපාලිකා හා ජටාමාංස යන සුවඳ ගසින් ද සමන්විත උද්‍යානයකි; ජටාමාංස හා කුංකුම ද සුවඳ දඬු හා කුරුඳු ද සෑම වර්ගයක ම සුගන්ධවත් ගස් ද සුවඳලාටු හා අගිල් හා අනගි කුළු බඩු ගස් ද එහි වෙයි. ඔබ උයනක දිය උල්පතක් ය; ජීවන දිය ඇති ළිඳක් ය; ලෙබනොන් සිට ගලා බසින දිය දහරක් ය. අවදි වන්න එම්බා උතුරු සුළඟ, එම්බා දකුණු සුළඟ එන්න! මගේ උයන සිසාරා හමා යන්න, එහි සුවඳ හැම තැන පැතිරී යන ලෙස. මගේ ප්‍රේමවන්තයා ස්වකීය උයනට පැමිණ, එහි අනර්ඝ පල භුක්ති වින්දාවේ.

