සාලමොන්ගේ ගීතය 4:1-9

සාලමොන්ගේ ගීතය 4:1-9 SCV

අහෝ ඔබ කොතරම් ප්‍රියංකර ද! මා ප්‍රියාවිය, ඈ! කොතරම් අලංකාර ද! මුහුණු වැස්මට ඔබ්බෙන් ඔබේ නෙත් පරෙවියන් වගෙයි. ඔබගේ වරලස ගිලියාද් කන්දෙන් බැස එන එළු රෑනක් වගෙයි. ඔබගේ දත් පෙළ ලොම් කපනු ලැබ, සේදී පවිත්‍ර ව, දියෙන් ගොඩට එන බැටළු රෑනක් වගෙයි. එකකුවත් තනි ව නො සිට, නිඹුලුන් සහිත වේ. ඔබගේ දෙතොල් රත් පැහැති පීත්ත පටයක් වගෙයි; ඔබගේ මුව සුන්දර ය. ඔබගේ මුහුණු වැස්මට ඇතුළින් දෙකොපුල් දෙළුම් ගෙඩියක පළු දෙකක් වගෙයි. ඔබේ ගෙල පෙදෙස, හැමකක් ම රණවිරු පලිස් වූ පලිහ දහසක් එල්ලා තබන දැකුම්කළු ව ගොඩ නැගූ දාවිත්ගේ කුලුන වගෙයි. ඔබේ පියයුරු මානෙල් මල් අතරේ තෘණ බුදින මුව දෙනකගේ නිවුන් පැටවුන් යුගලයක් වගේ ය. දවස උදා වන තුරු, සෙවණැලි පලා යන තුරු මම සුවඳලාටු කන්දටත්, සුවඳ දුම් හෙලටත් නැගෙන්නෙමි. ඔබ මුළුමනින් ම සුන්දර ය, මා ප්‍රියාවිය, කැළලක් නැත්තී ය. එන්න, මා සමඟ ලෙබනොන් වෙතින්, මගේ මනාලිය, එන්න, මා සමඟ ලෙබනොන් වෙතින්, අමානා කඳු මුඳුන වෙතින් බැස එන්න; සෙනීර් කූටය වෙතින්, හෙර්මොන් ශිඛරය වෙතින්, සිංහ ගුහාව වෙතින්, දිවියන්ගේ කඳු තිප්පොළවල් වෙතින් බැස එන්න. ඔබ මගේ හද සොරාගෙන, මගේ නගේ; මගේ මනාලියේ, එක ම එක නෙතු බැල්මකින්, ඔබේ ගෙල මාලයේ එක් මැණිකකින් මගේ හද ඔබ සොරාගෙන.

මෙයට අදාළ වීඩියෝ

සාලමොන්ගේ ගීතය 4:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය