අහෝ ඔබ කොතරම් ප්‍රියංකර ද!
මා ප්‍රියාවිය, ඈ! කොතරම් අලංකාර ද!
මුහුණු වැස්මට ඔබ්බෙන් ඔබේ නෙත් පරෙවියන් වගෙයි.
ඔබගේ වරලස ගිලියාද් කන්දෙන්
බැස එන එළු රෑනක් වගෙයි.
ඔබගේ දත් පෙළ ලොම් කපනු ලැබ, සේදී පවිත්‍ර ව,
දියෙන් ගොඩට එන බැටළු රෑනක් වගෙයි.
එකකුවත් තනි ව නො සිට,
නිඹුලුන් සහිත වේ.
ඔබගේ දෙතොල් රත් පැහැති පීත්ත පටයක් වගෙයි;
ඔබගේ මුව සුන්දර ය.
ඔබගේ මුහුණු වැස්මට ඇතුළින් දෙකොපුල්
දෙළුම් ගෙඩියක පළු දෙකක් වගෙයි.
ඔබේ ගෙල පෙදෙස,
හැමකක් ම රණවිරු පලිස් වූ
පලිහ දහසක් එල්ලා තබන දැකුම්කළු ව ගොඩ නැගූ
දාවිත්ගේ කුලුන වගෙයි.
ඔබේ පියයුරු මානෙල් මල් අතරේ
තෘණ බුදින මුව දෙනකගේ
නිවුන් පැටවුන් යුගලයක් වගේ ය.
දවස උදා වන තුරු,
සෙවණැලි පලා යන තුරු
මම සුවඳලාටු කන්දටත්,
සුවඳ දුම් හෙලටත් නැගෙන්නෙමි.
ඔබ මුළුමනින් ම සුන්දර ය, මා ප්‍රියාවිය,
කැළලක් නැත්තී ය.
එන්න, මා සමඟ ලෙබනොන් වෙතින්, මගේ මනාලිය,
එන්න, මා සමඟ ලෙබනොන් වෙතින්,
අමානා කඳු මුඳුන වෙතින් බැස එන්න;
සෙනීර් කූටය වෙතින්, හෙර්මොන් ශිඛරය වෙතින්,
සිංහ ගුහාව වෙතින්,
දිවියන්ගේ කඳු තිප්පොළවල් වෙතින් බැස එන්න.
ඔබ මගේ හද සොරාගෙන, මගේ නගේ; මගේ මනාලියේ,
එක ම එක නෙතු බැල්මකින්,
ඔබේ ගෙල මාලයේ එක් මැණිකකින්
මගේ හද ඔබ සොරාගෙන.
කොතරම් ප්‍රමෝද ජනක ද ඔබේ ආදරය මගේ නගේ; මගේ මනාලියේ,
ඔබගේ ප්‍රේමය මිදි යුෂවලටත් වඩා කොතරම් ප්‍රිය ජනක ද!
ඔබගේ විලවුන් සුවඳ
ඕනෑ ම සුවඳ ද්‍රව්‍යකටත් වඩා කෙතරම් අගනේ ද!
මී වදයකින් මෙන් ඔබේ දෙතොලින් මිහිර වැගිරෙයි;
මගේ මනාලිය, කිරිත්, පැණිත් ඔබේ දිව යට ඇත.
ඔබේ ඇඳුම්වල සුගන්ධය
ලෙබනොන්හි සුගන්ධය වගෙයි.
ඔබ, අගුළු ලා වැසූ උයනක් ය, මගේ නගේ; මගේ මනාලියේ,
ඔබ, වට කරන ලද දිය උල්පතක් ය; මුද්‍රා තැබූ ජලාශයක් ය.
ඔබගේ වගාව දෙළුම් ද
අනගිතම පලතුරුවලින් ද
සේපාලිකා හා ජටාමාංස යන සුවඳ ගසින් ද සමන්විත උද්‍යානයකි;
ජටාමාංස හා කුංකුම ද
සුවඳ දඬු හා කුරුඳු ද
සෑම වර්ගයක ම සුගන්ධවත් ගස් ද
සුවඳලාටු හා අගිල් හා
අනගි කුළු බඩු ගස් ද එහි වෙයි.
ඔබ උයනක දිය උල්පතක් ය;
ජීවන දිය ඇති ළිඳක් ය;
ලෙබනොන් සිට ගලා බසින දිය දහරක් ය.
අවදි වන්න එම්බා උතුරු සුළඟ,
එම්බා දකුණු සුළඟ එන්න!
මගේ උයන සිසාරා හමා යන්න,
එහි සුවඳ හැම තැන පැතිරී යන ලෙස.
මගේ ප්‍රේමවන්තයා ස්වකීය උයනට පැමිණ,
එහි අනර්ඝ පල භුක්ති වින්දාවේ.