සාලමොන්ගේ ගීතය 3

3
1මගේ යහන මත මුළු රැය පුරා
මා හද ප්‍රේම කරන්නා සෙව්වෙමි;
මා ඔහු සෙව් නමුදු ඔහු මට හමු වූයේ නැත.
2දැන් මම නැගිට, පුරවරය ඔස්සේ ඇවිදිමින්,
එහි වීදි හා කඩ-මණ්ඩි අතරේ මා හද ප්‍රේම කරන්නා සොයන්නෙමි;
එසේ මම ඔහු සෙව්වෙමි;
එහෙත් මට ඔහු හමු වුණේ නැත.
3නගර සංචාරයේ යෙදෙන
මුර සෙබළුනට මා හමු විණ.
“දැක්ක ද නුඹලා? මා හද ප්‍රේම කරන තැනැත්තා?”
4මා ඔවුන් පසු කළ විගස,
මා හද ප්‍රේම කරන්නා මට හමු වූ කල,
මම ඔහු අල්ලාගෙන, මගේ මවගේ ගෙදරට,
මා පිළිසිඳ ගත් තැනැත්තියගේ කාමරයට ඔහු පමුණු වන තෙක්,
ඔහුට යන්නට නුදුන්නෙමි.
5එම්බා යෙරුසලමේ දූවරුනි,
කුරංග මුවන් හා බැද්දේ මුව දෙනුන් නමින් මා නුඹලා දිවුරවන්නේ,
නිසි අවස්ථාව එළැඹෙන තෙක් ප්‍රේමය නො පොලඹවන ලෙසයි;
නො පුබුදුවන ලෙසයි.
6වෙළෙන්දාගේ සියලු සුවඳ ද්‍රව්‍යය ද
සුවඳලාටු හා සුවඳ දුමින් ද යුතු
සුවඳ විලවුන් ගල්වා,
දුම් කඳක් සේ පාළුකරයේ සිට මේ නැගී එන්නේ කවුරු ද?
7අන්න බලන්න! ඒ සාලමොන්ගේ දෝලාවයි;
ඉශ්‍රායෙල්හි උත්තමයින් වූ
රණවිරුවන් හැට දෙනෙක් පිරිවරාගෙන එයි.
8සංග්‍රාමයෙහි පලපුරුදු ඒ සැවොම අසිපත් පැලඳ සිටිති;
රාත්‍රියේ භීතියට සූදානමින්,
ඒ හැම කෙනෙක් ම
තම අසිපත ඉනේ බැඳගෙන.
9ලෙබනොන්හි දැවයෙන් සාලමොන් රජු
ඒ දෝලාව හදවා ගත්තේ තමන්ට ම ය.
10එහි කණු රිදීයෙන් තැනූ ඔහු
එහි අඩි-තාලම් රනින් කරවී ය;
එහි ආසනය දම් පැහැයෙන් සැරසිණ;
එහි ඇතුළත ප්‍රේමණීය ව සකසන ලදී.
යෙරුසලම් දූවරුනි, 11එන්න, පිටතට,
සියොන් දූවරුනි, ඇවිත්,
සාලමොන් රජු කිරුළු පැලඳ සිටින අයුරු බලන්න;
ඔහුගේ මව ඒ කිරුළ ඔහුට පැලඳුවේ
ඔහුගේ මඟුල් දවසේ ය;
ඔහුගේ හදවත ප්‍රමෝදවත් වූ දවසේ ය.

දැනට තෝරාගෙන ඇත:

සාලමොන්ගේ ගීතය 3: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න