සාලමොන්ගේ ගීතය 1

1
1අනගිතම ගීතය වන සාලමොන්ගේ ගීතය.
ප්‍රේමවන්තිය#1:2 ප්‍රේමවන්තිය ඒ ඒ වාක්‍ය ඛණ්ඩවල පෙනෙන භාෂා ලිංග භේදය සලකා කතා කරන්නාගේ අනන්‍යතාවය හඳුන්වා දීමට පරිවර්තකයන් විසින් ප්‍රේමවන්තිය, සපිරිවර හා ප්‍රේමවන්තයා යන වචන ඇතුළත් කර තිබේ.
2ඔහුගේ මුවේ හාදුවලින් මා සිප ගනීවා;
මන්ද ඔබගේ ප්‍රේමය මිදි යුෂවලට වඩා ප්‍රමෝද ජනක ය.
3ඔබගේ විලවුන් සුවඳ ප්‍රිය ජනක ය;
ඔබගේ නාමය සුවඳ විලවුන් වෑස්සෙන්නා වැන්න.
එබැවින් කන්‍යාවියෝ ඔබට පෙම් බඳිති.
4ඔබ සමඟ මා ගෙන යන්න; එන්න, අපි එක් ව දුවමු;
රජතුමා තම කුටියට මා කැන්දන් යේවා!
සපිරිවර
අපි ඔබ ගැන ප්‍රීති වන්නෙමු; ප්‍රමෝද වන්නෙමු;
මිදි යුෂවලට වඩා ඔබේ ප්‍රේමය වර්ණනා කරන්නෙමු.
ප්‍රේමවන්තිය
ඔවුන් ඔබට ආදරය කිරීම කොතරම් නිවැරදි ද!
5එම්බා යෙරුසලම් දූවරුනි, මා කළුයි,
එහෙත් මා සුන්දරයි;
හරියට කේදාර්හි කූඩාරම් වගේ;
සාලමොන්ගේ කූඩාරම් තිර වගේ.
6මා කළු නිසා මා දෙස ඔහොම බලා සිටින්න එපා;
මා කළු වී සිටින්නේ අව්-රැස් වැදීමෙනි;
මගේ මවගේ පුත්තු මා හා නො මනාපෙන්,
මිදි වතු බලාගන්නට මා යෙදවූයෙන්,
මගේ ම මිදි වත්ත බලාගැනීම මට අතපසු වුණා.
7මට කියන්න, මා ප්‍රේම කරන්නාණනි,
ඔබේ රංචුවට ඔබ තණ කවන්නේ කොහේ ද?
මද්දහනේ උන්ට ලැග සිටින්නට සලස්වන්නේ කොතැනක ද?
ඔබේ මිතුරන්ගේ රංචු අතරේ
මා මුහුණ වසා ගත් තැනැත්තියක සේ විය යුත්තේ මන්ද?
සපිරිවර
8ඔබ දන්නේ නැත්නම්,
ස්ත්‍රීන් අතරින් ඉතාම රුවැත්තිය,
බැටළු අඩි පාර ඔස්සේ ගොස්,
එඬේර කූඩාරම් පසෙකින් ඔබේ එළු පොව්වනට කවන්න.
ප්‍රේමවන්තයා
9මා ප්‍රියාවිය, පාරාවෝගේ අශ්ව-රථයකට සන්නද්ධ කළ වෙළඹකට
මම ඔබ සමාන කරමි.
10අරුංගල් සහිත ඔබේ කම්මුල් ද
මුතු පොටවලින් ඔබේ ගෙල ද හරිම අලංකාරයි.
11රිදී ඔබ්බවන ලද රන් අරුංගල්
අපි ඔබට හදා දෙමු.
ප්‍රේමවන්තිය
12රජු තම කවිච්චිය මත සිටිනා අතරේ
මගේ විලවුන් සුවඳ විසිරී පැතිරේ.
13මගේ පෙම්වතා මට, මගේ පියයුරු අතරේ රඳවා ඇති,
සුවඳලාටු පොදියක් වැන්න.
14මගේ පෙම්වතා මට ඒන්-ගෙදීහි මිදි වතුවල
සේපාලිකා පොහොට්ටු පොකුරක් වැන්න.
ප්‍රේමවන්තයා
15බලන්න ලස්සනයි! මගේ ප්‍රියාවිය!
ඇත්තට ඔබ හරිම ලස්සනයි;
ඔබට ඇත්තේ පරෙවි ඇස් ය.
ප්‍රේමවන්තිය
16බලන්න! ඔබ කොතරම් කඩවසම් ද මගේ පෙම්වත,
ඈ! කොතරම් මන බඳන සුළු ද!
අපේ යහන හරිත වර්ණ ය.
ප්‍රේමවන්තයා
17අපේ නිවස්නයේ බාල්ක දේවදාර ගස් ය;
එහි පරාල කිහිරි ගස් ය.

දැනට තෝරාගෙන ඇත:

සාලමොන්ගේ ගීතය 1: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න