සාලමොන්ගේ ගීතය 1:1-11

සාලමොන්ගේ ගීතය 1:1-11 SCV

අනගිතම ගීතය වන සාලමොන්ගේ ගීතය. ඔහුගේ මුවේ හාදුවලින් මා සිප ගනීවා; මන්ද ඔබගේ ප්‍රේමය මිදි යුෂවලට වඩා ප්‍රමෝද ජනක ය. ඔබගේ විලවුන් සුවඳ ප්‍රිය ජනක ය; ඔබගේ නාමය සුවඳ විලවුන් වෑස්සෙන්නා වැන්න. එබැවින් කන්‍යාවියෝ ඔබට පෙම් බඳිති. ඔබ සමඟ මා ගෙන යන්න; එන්න, අපි එක් ව දුවමු; රජතුමා තම කුටියට මා කැන්දන් යේවා! අපි ඔබ ගැන ප්‍රීති වන්නෙමු; ප්‍රමෝද වන්නෙමු; මිදි යුෂවලට වඩා ඔබේ ප්‍රේමය වර්ණනා කරන්නෙමු. ඔවුන් ඔබට ආදරය කිරීම කොතරම් නිවැරදි ද! එම්බා යෙරුසලම් දූවරුනි, මා කළුයි, එහෙත් මා සුන්දරයි; හරියට කේදාර්හි කූඩාරම් වගේ; සාලමොන්ගේ කූඩාරම් තිර වගේ. මා කළු නිසා මා දෙස ඔහොම බලා සිටින්න එපා; මා කළු වී සිටින්නේ අව්-රැස් වැදීමෙනි; මගේ මවගේ පුත්තු මා හා නො මනාපෙන්, මිදි වතු බලාගන්නට මා යෙදවූයෙන්, මගේ ම මිදි වත්ත බලාගැනීම මට අතපසු වුණා. මට කියන්න, මා ප්‍රේම කරන්නාණනි, ඔබේ රංචුවට ඔබ තණ කවන්නේ කොහේ ද? මද්දහනේ උන්ට ලැග සිටින්නට සලස්වන්නේ කොතැනක ද? ඔබේ මිතුරන්ගේ රංචු අතරේ මා මුහුණ වසා ගත් තැනැත්තියක සේ විය යුත්තේ මන්ද? ඔබ දන්නේ නැත්නම්, ස්ත්‍රීන් අතරින් ඉතාම රුවැත්තිය, බැටළු අඩි පාර ඔස්සේ ගොස්, එඬේර කූඩාරම් පසෙකින් ඔබේ එළු පොව්වනට කවන්න. මා ප්‍රියාවිය, පාරාවෝගේ අශ්ව-රථයකට සන්නද්ධ කළ වෙළඹකට මම ඔබ සමාන කරමි. අරුංගල් සහිත ඔබේ කම්මුල් ද මුතු පොටවලින් ඔබේ ගෙල ද හරිම අලංකාරයි. රිදී ඔබ්බවන ලද රන් අරුංගල් අපි ඔබට හදා දෙමු.

සාලමොන්ගේ ගීතය 1:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය