රූත් 4:1-12

රූත් 4:1-12 SCV

මේ අතර බෝවස් නගර දොරටු වෙත ගොස්, එහි අසුන් ගත්තේ ය. එවිට, කලින් ඔහු සඳහන් කළ, මිදීම සිදු කළ හැකි නෑයා එතැනින් ගමන් ගත්තේ ය. එවිට බෝවස්, “ඒයි යාළුවා, මෙහෙ එන්න; ඇවිත් මෙහි හිඳ ගන්නැ” යි කීවේ ය. ඔහු පැමිණ, හිඳ ගත්තේ ය. බෝවස්, නගර වැඩිහිටියන් දස දෙනකු කැඳවා, “මෙහි ඉඳගන්නැ” යි කීවේ ය. ඔවුහු ද ඉඳගත්හ. ඉන්පසු ඔහු, මිදීම සිදු කළ හැකි නෑයා අමතමින්, “මෝවබ් දේශයේ සිට පෙරළා පැමිණි නායොමි, අපගේ සහෝදර එලීමෙලෙක්ට අයත් වූ ඉඩම් කැබැල්ල විකුණන්නී ය. එබැවින් මෙහි අසුන් ගෙන සිටින මේ අය ඉදිරියේ හා මගේ ජනයාගේ වැඩිහිටියන් ඉදිරියේ, එය මිලයට ගන්නැයි ඔබට දැන්විය යුතු යැයි මා සිතුවා. එය මුදා ගන්නට ඔබ කැමති නම්, එය මුදා ගන්න. එහෙත් ඔබ නො කැමති නම්, මා එය දැනගන්නා පිණිස ඒ වග මට කියන්න. මන්ද ඔබට පෙරාතුව එය මුදාගැන්මේ අයිතිය වෙන කාටවත් නැත. ඊළඟට සිටින්නේ මමයි” කීවේ ය. “මා එය මුදා ගන්නවා” යි නෑයා පැවසී ය. එවිට බෝවස්, “නායොමි අතින් ඔබ මේ ඉඩම මිලයට ගන්නා දවසේ, මළ අයගේ උරුම දේපළ සමඟ ඔහුගේ නාමය පවතින පිණිස, මළ මිනිසාගේ වැන්දඹුව වූ මෝවබිය රූත් ද අත්කර ගන්නේ යැ” යි පැවසී ය. මෙවිට, මිදීම සිදු කළ හැකි නෑයා, “එසේ නම්, මට එය මුදා ගන්න බැහැ. මන්ද, එයින් මගේ ම උරුමයට අනර්ථයක් සිදු විය හැකියි. මුදා ගැනීමේ මා සතු අයිතිය ඔබ ම බාර ගන්න. මන්ද මට එය මුදා ගත නො හැකි යැ” යි පැවසී ය. ඒ කාලයේ ඉශ්‍රායෙල් දේපළ මුදාගැනීමක් හෝ පැවරීමක් හෝ තීන්දු කිරීමට එක් පාර්ශ්වයක් තම පාවහන ගලවා, අනෙක් පාර්ශ්වයට දෙන්නේ ය. ඉශ්‍රායෙලයේ ගනුදෙනු සහතික කිරීමේ නිත්‍යානුකූල පිළිවෙත වූයේ එයයි. එබැවින්, මිදීම සිදු කළ හැකි නෑයා බෝවස් අමතා, “ඔබ ම එය මිලයට ගන්නැ” යි කියා, තම පාවහන ගැලවී ය. එවිට බෝවස් වැඩිහිටියන් සියලු දෙනා අමතමින්, “එලීමෙලෙක්ට අයිති ව තිබූ සියල්ල ද කිලියොන්ට හා මාලොන්ට අයිති ව තිබූ සියල්ල ද නායොමිගෙන් මා මිලයට ගත් වගට අද ඔබ සාක්ෂිකරුවෝ ය. තවද, මළ මිනිසාගේ නාමය, ඔහුගේ පෙළපත් අතරින් හා නගර ලේඛනවලින් බැහැර නො වන්නට මළ මිනිසාගේ උරුම දේපළ සමඟ ඔහුගේ නාමය ද බල පැවැත්වෙන පිණිස, මාලොන්ගේ වැන්දඹුව වූ මෝවබිය රූත් මගේ බිරිඳ වශයෙන් මා අත්කර ගත් වගට ද අද දවසේ ඔබ සාක්ෂිකරුවෝ යැ” යි පැවසී ය. එවිට නගර දොරටුවේ සිටි සියල්ලෝ හා වැඩිහිටියෝ, “අපි සාක්ෂිකරුවෝයි. ඔබේ නිවසට එන කාන්තාව, ඉශ්‍රායෙල් වංශය එක් ව ගොඩ නැංවූ රාඛෙල් හා ලෙයා වාගේ වන්නට ස්වාමින්වහන්සේ සලස්වන සේක්වා! ඔබ එෆ්‍රාතාහි සමෘද්ධිමත් වී, බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේවා! මෙම තරුණ කාන්තාව තුළින් ස්වාමින්වහන්සේ ඔබට ලබා දෙන දරු පරපුර තුළින් ඔබගේ වංශය, යූදාට දාව තාමාර් බිහි කළ පෙරෙස්ගේ වංශය මෙන් වේවා!” යි කීහ.

රූත් 4 කියවන්න