ඇගේ නැන්දම්මා, නායොමි ඇය අමතමින්, “මගේ දූ, ඔබට හොඳ කල දවසක් යන ලෙස සෙවණක් සලසා දීමට මා උත්සාහ කළ යුතු නො වේ ද? ඔබ සමඟ වැඩ කළ තරුණියන්ගේ හාම්පුතා, බෝවස්, අපේ නෑයෙක් නො වේ ද? අන්න! අද රෑ කමතේදී ඔහු යව පොළන්නේ ය. එබැවින් දැන් නාගෙන, විලවුන් ගල්වා, ඔබේ හොඳ ම ඇඳුමින් සැරසී, කමතට බැස යන්න. එහෙත්, ඔහු කා, බී නිම වන තෙක්, ඔබ එහි සිටින වග ඔහුට දැනගන්නට ඉඩ නාරින්න. ඔහු නිදන්නට හාන්සි වන කල, ඔහු නිදන තැන හොඳින් බලා, පසුව ගොස්, ඔහුගේ පා නිරාවරණ කොට, එහි දිගා වෙන්න. කළ යුතු දේ ඔහු ඔබට කියනු ඇතැ” යි පැවසුවා ය.
එවිට ඈ, “ඔබ කියන කවර දෙයක් වුව කරන්නෙමි” යි පිළිතුරු දුන්නා ය. එබැවින්, කමතට බැස ගිය ඈ, තම නැන්දම්මා උපදෙස් දී තිබූ පරිදි සියල්ල කළා ය.
බෝවස් කෑමෙන් බීමෙන් පසුව සිත සොම්නස් ව සිටියේ, නිදන පිණිස ධාන්‍ය ගොඩේ එහා කෙළවරට ගියේ ය. නිසොල්මනේ එහි ළඟා වූ ඈ, ඔහුගේ පා නිරාවරණ කොට, දිගා වූවා ය. රැය මැදියමේ තිගැස්සුණු ඔහු, හැරී බැලුවේ ය. එවිට මෙන්න! ස්ත්‍රියක් ඔහුගේ පාමුල!
“ඔබ කවුරු දැ?” යි ඔහු ඇසී ය.
ඈ උත්තර දෙමින්, “මම රූත්, ඔබේ සේවිකාව. ඔබේ සළු කෙළවර මා පිට අතුරන්න. මන්ද ඔබ, මිදීම සිදු කළ හැකි නෑයෙකි” යි කීවා ය.
ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා මා දියණිය. පොහොසත් හෝ දුප්පත් හෝ තරුණයින් පස්සේ නො යෑමෙන්, ඔබ දක්වා ඇත්තේ මුලින් දැක්වූවාට වඩා වැඩි පක්ෂපාතීත්වයක්. එබැවින් දැන් මා දියණියනි, භය වන්න එපා. ඔබ ඉල්ලූ සියල්ල මා ඔබට ඉටු කර දෙන්නම්. ඔබ උදාර කාන්තාවක වග මගේ සහෝදර නගර වාසී සැවොම දනිති.