රූත් 2:8-14

රූත් 2:8-14 SCV

එවිට බෝවස් රූත්ට කතා කොට, “මේ අහන්න මා දියණිය, කරල් අහුලන්නට වෙනත් කුඹුරකට යන්න එපා. මෙතැන අත්හැර යන්නත් එපා. හැබැයි මගේ සේවක තරුණියන්ට ළං ව සිටින්න. මිනිසුන් ගොයම් කපන්නේ කවර ලියැද්දකදැයි හොඳින් බලාගෙන, ඔවුන් පස්සෙන් ම යන්න. ඔබට අත නො තබන ලෙස තරුණයින්ට මා අණ කළා. ඔබට පිපාස දැනුනාම, තරුණයින් පුරවා ඇති ජල බඳුන්වලින් ගෙන බොන්නැ” යි කීවේ ය. මෙවිට, ඈ බිමට හිස නවා, මුහුණ බිමට නමා, “පිටරැටියක වූ මා වෙත ඔබගේ අවධානය යොමුකරන්නට තරම් මා ඔබේ කරුණාව ලද්දේ මන්දැ?” යි ඇසුවා ය. එහෙත් බෝවස් ඇයට පිළිතුරු දෙමින්, “ඔබගේ සැමියාගේ මරණයේ පටන් ඔබගේ නැන්දම්මා උදෙසා ඔබ කළ සියල්ල ගැනත්, ඔබ ඔබගේ පියාත්, මවත්, ඔබේ මව් බිමත් අතහැර, කලින් ඔබ නෑඳින සිටි ජනතාවක් හා වාසයට පැමිණි හැටිත්, මුළුමනින් මට දැනගන්නට ලැබුණා. ඔබ කළ දෑට ස්වාමින්වහන්සේ ඔබට ඉටු විපාක දෙන සේක්වා! ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පියාපත් සෙවණේ රැකවරණ ලබන්නට ආ ඔබට උන්වහන්සේගෙන් පූර්ණ ප්‍රතිවිපාක ලැබේවා!” යි පැවසී ය. එවිට ඈ, “ඔබේ ඇස් හමුවේ මට ප්‍රසාදය ලැබුණා මා ස්වාමිනි, මා ඔබගේ සේවිකාවන්ගෙන් කෙනකු නො වූවත් ඔබ මා සනසා, ඔබේ සේවිකාවට කරුණාවෙන් කතා කළා” යි කීවා ය. ආහාර වේලාවේදී ඇය ඇමතූ බෝවස්, “මෙහෙ එන්න; මේ රොටි ගෙන, මිදි යුෂ ඇඹුලේ කැබැල්ල පොඟවා, කන්නැ” යි කීවේ ය. ඇය අස්වනු නෙළන්නන් පසෙක හිඳගත් කල, ඔහු විලඳ බොහොමයක් ඇයට ළං කළේ ය. සෑහීමට පත් වන තුරු කෑ පසු, ඇයට තවත් ඉතිරි විය.

රූත් 2 කියවන්න

රූත් 2:8-14 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය