රූත් 2:1-13

රූත් 2:1-13 SCV

නායොමිට, ඇගේ සැමියාගේ පැත්තෙන් නෑයකු වූ, එලීමෙලෙක්ගේ පෙළපතට අයත් බෝවස් නම් ධනවත් මිනිසෙක් සිටියේ ය. මෝවබිය රූත්, නායොමිට කතා කොට, “කුඹුරට ගොස්, මට කාරුණික වන කෙනකු පසු පස ඇවිද, වැටී ඉතිරි වී ඇති කරල් ඇහිඳ එන්න ඉඩ දෙන්නැ” යි කීවා ය. “යන්න මගේ දූ” යි ඈ කීවා ය. එබැවින් ඈ පිටත් ව ගොස්, අස්වනු නෙළන්නන් පසු පස යමින්, කරල් ඇහිඳින්නට වන්නී, අහම්බෙන් මෙන් එලීමෙලෙක්ගේ පෙළපතේ බෝවස්ට අයත් කුඹුරු ලියැද්දට පැමිණියා ය. එවිට මෙන්න! බෝවස් ද බෙත්ලෙහෙමේ සිට එහි අවුත්, අස්වනු නෙළන්නන්ට සුබ පතමින්, “ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක්වා!” යි කීවේ ය. “ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා!” යි ඔවුහු ද පැවසූහ. අස්වනු නෙළන්නන්ගේ වැඩ බලන තරුණයා ඇමතූ බෝවස්, “අර තරුණ කාන්තාව කාගේ කවුරු දැ?” යි ඇසී ය. එවිට අස්වනු වැඩ බලන්නා පිළිතුරු දෙමින්, “ඒ, මෝවබ් දේශයෙන් නායොමි සමඟ පැමිණි මෝවබ් තරුණ කාන්තාවයි; ඈ මා අමතා, ‘අස්වනු නෙළන්නන් පසු පස නෙළූ මිටි අතරේ වැටී ඇති කරල් ඇහිඳ, එකතු කර ගන්නට කරුණාකර මට ඉඩ දෙන්නැ’ යි ඉල්ලුවා. සෙවණට වී මද විවේකයක් ගත්තා විනා, කුඹුරට බැස්ස ඇය උදේ පටන් මේ දක්වා එක දිගට ම කාරියේ යැ” යි කීවේ ය. එවිට බෝවස් රූත්ට කතා කොට, “මේ අහන්න මා දියණිය, කරල් අහුලන්නට වෙනත් කුඹුරකට යන්න එපා. මෙතැන අත්හැර යන්නත් එපා. හැබැයි මගේ සේවක තරුණියන්ට ළං ව සිටින්න. මිනිසුන් ගොයම් කපන්නේ කවර ලියැද්දකදැයි හොඳින් බලාගෙන, ඔවුන් පස්සෙන් ම යන්න. ඔබට අත නො තබන ලෙස තරුණයින්ට මා අණ කළා. ඔබට පිපාස දැනුනාම, තරුණයින් පුරවා ඇති ජල බඳුන්වලින් ගෙන බොන්නැ” යි කීවේ ය. මෙවිට, ඈ බිමට හිස නවා, මුහුණ බිමට නමා, “පිටරැටියක වූ මා වෙත ඔබගේ අවධානය යොමුකරන්නට තරම් මා ඔබේ කරුණාව ලද්දේ මන්දැ?” යි ඇසුවා ය. එහෙත් බෝවස් ඇයට පිළිතුරු දෙමින්, “ඔබගේ සැමියාගේ මරණයේ පටන් ඔබගේ නැන්දම්මා උදෙසා ඔබ කළ සියල්ල ගැනත්, ඔබ ඔබගේ පියාත්, මවත්, ඔබේ මව් බිමත් අතහැර, කලින් ඔබ නෑඳින සිටි ජනතාවක් හා වාසයට පැමිණි හැටිත්, මුළුමනින් මට දැනගන්නට ලැබුණා. ඔබ කළ දෑට ස්වාමින්වහන්සේ ඔබට ඉටු විපාක දෙන සේක්වා! ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පියාපත් සෙවණේ රැකවරණ ලබන්නට ආ ඔබට උන්වහන්සේගෙන් පූර්ණ ප්‍රතිවිපාක ලැබේවා!” යි පැවසී ය. එවිට ඈ, “ඔබේ ඇස් හමුවේ මට ප්‍රසාදය ලැබුණා මා ස්වාමිනි, මා ඔබගේ සේවිකාවන්ගෙන් කෙනකු නො වූවත් ඔබ මා සනසා, ඔබේ සේවිකාවට කරුණාවෙන් කතා කළා” යි කීවා ය.

රූත් 2 කියවන්න

රූත් 2:1-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය