විනිසුරුවන්ගේ පාලන සමයේ, දේශයේ සාගතයක් ඇති විය. යූදාහි බෙත්ලෙහෙම් පුර එක් මිනිසෙක්, තම බිරිඳ හා තම පුතුන් දෙදෙනා කැටිව, මද කලක් වෙසෙනු පිණිස, මෝවබ් රටට ගියේ ය. ඒ මිනිසාගේ නම වූයේ, එලීමෙලෙක් ය. ඔහුගේ බිරිඳගේ නම නායොමි ය. ඔහුගේ පුතුන් දෙදෙනාගේ නම් වූයේ, මාලොන් හා කිලියොන් ය. ඔවුහු යූදාහි බෙත්ලෙහෙමේ එෆ්රාත්වරු වූහ. මෝවබ් රටට ගිය ඔවුහු, එහි නැවතුණහ.
එහෙත් නායොමිගේ සැමියා, එලීමෙලෙක් මළේ ය. ඇගේ පුතුන් දෙදෙනා සමඟ ඈ තනි වූවා ය. මොවුහු මෝවබිය කාන්තාවන් ආවාහ කර ගත්හ. එක තැනැත්තියකගේ නම ඔර්පා ය. අනෙක් තැනැත්තිය රූත් ය. ඔවුහු දස වසරක් පමණ එහි විසූ පසු, මාලොන් හා කිලියොන් යන දෙදෙනා ද මළහ. එබැවින් එම කාන්තාව ඇගේ පුතුන් දෙදෙනාගේ හා තම සැමියාගේ වියොවින්, තනි වූවා ය.
ස්වාමින්වහන්සේ ස්වකීය ජනතාවට ආහාර සැපයීමෙන්, ඔවුන්ගේ පිහිටට පැමිණි වග, මෝවබ්හි දී නායොමිට අසන්නට ලැබිණ. එකල ඈ, තම ලේලීන් දෙදෙනා සමඟ යළි ගම-රට බලා ආපසු යෑමට ලැහැස්ති වූවා ය. තමන් පදිංචි ව සිටි තැනින් නික්ම, තම ලේලීන් දෙදෙනා සමඟ ඈ ගමනට පිටත් ව ආපසු යූදා දේශයට යන මගෙහි ගමන් ගත්තා ය.
එහෙත් නායොමි තම ලේලියන් දෙදෙනා අමතමින්, “යන්න! ඔබ එකිනෙකා තම මවගේ ගෙදරට ආපසු යන්න. ඔබේ මිය ගිය අයටත්, මටත් ඔබ සැලකූ පරිද්දෙන්, ස්වාමින්වහන්සේ ඔබටත් කරුණාව දක්වන සේක්වා! ඔබගේ සැමියකු සෙවණේ සැනසිල්ල ස්වාමින්වහන්සේ ඔබ එකිනෙකාට අත්කර දෙන සේක්වා!” යි කීවා ය.
ඉන්පසු ඈ, ඔවුන් දෙදෙනා සිප ගත්තා ය. එවිට මහ හඬින් හැඬූ ඔවුහු, “නැහැ! අපි ඔබ සමඟ ඔබේ ජනයා වෙත ආපසු යනවා” යි ඇයට කීහ.
එහෙත් නායොමි ඔවුන් අමතමින්, “ආපසු යන්න මා දූවරුනි, කුමට මා සමඟ එනවා ද? ඔබට සැමියන් වීමට තවත් පුතුන් මගේ කුසෙහි වේ ද? ආපසු යන්න මා දූවරුනි, ඔබට හිමි අත යන්න; තවත් සැමියකු විවාහ කර ගන්නට මා මහලු වැඩියි. ඇරත් එවැනි බලාපොරොත්තුවක් තවත් මට ඇතැයි මා සිතුවත්, අද රැයේ ම සැමියකු හමුව පුතුන් බිහි කළත්, ඔවුන් මෝරා වැඩෙන තුරු ඔබ බලා සිටින්න ද? ඔවුන් නිසා ඔබ අවිවාහක ව සිටින්න ද? නැහැ මගේ දූවරුනි, ඔබට වඩා මගේ දොම්නස තද වැඩියි. මන්ද ස්වාමින්වහන්සේගේ හස්තය එරෙහිව ගියේ මට යැ” යි කීවා ය.
මෙවිට ඔවුහු යළිත් මහ හඬින් හැඬූහ. ඉන්පසු ඔර්පා සමුගනිමින්, තම නැන්දම්මා සිප ගත්තා ය. එහෙත් රූත් ඇයට ඇලුම් ව බැඳී සිටියා ය.
එවිට ඈ කතා කරමින්, “බලන්න! ඔබේ නෑනා ඇගේ ජනයා හා ඇගේ දෙවිවරුන් වෙත යනවා. ඔබේ නෑනා පස්සෙන් ආපසු යන්නැ” යි කීවා ය.
එහෙත් රූත් පිළිතුරු දෙමින්, “ඔබ අත්හැර යන්නටවත්, ඔබට පිටුපා යන්නටවත් මට බල කරන්න එපා. ඔබ යන තැනක, මමත් යන්නෙමි; ඔබ නවතින තැන, මමත් නවතින්නෙමි; ඔබේ ජනයා, මගේ ජනයා ද ඔබේ දෙවියන්වහන්සේ, මගේ දෙවියන්වහන්සේ ද වන්නේ ය. ඔබ මැරෙන තැන මමත් මැරෙන්නෙමි. එහිම වළලනු ලබන්නෙමි. මරණයෙන් මිස, අන් ලෙසකින් මා ඔබෙන් වෙන් වුවහොත්, ස්වාමින්වහන්සේ ඒ සා තදබල ලෙස මට කරන සේක්වා!” යි කීවා ය.