ක්‍රිස්තුස්වහන්සේ තුළ මම ඇත්ත කතා කරමි; බොරු නො කියමි. මගේ හෘදය සාක්ෂිය ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ඒ ගැන සාක්ෂි දරයි. මගේ හදෙහි දැඩි සංතාපයක් ද නො නවතින සංවේගයක් ද තිබේ. මන්ද මාංසයට අනුව මගේ නෑයින් වූ මගේ සහෝදරයින් උදෙසා ශාප ලද්දකු වී, ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන් කරනු ලබන්නට වුව, හැකි නම් කැමති වෙමි. ඉශ්‍රායෙල්වරු ඔවුහු ය. පුත්‍රකමට පිළිගනු ලැබීමත්, තේජසත්, ගිවිසුම් හා ව්‍යවස්ථාව දීමත්, නමස්කාරයත්, පොරොන්දුත් ඔවුන්ගේ ය. මුල් පියවරුන් ඔවුන්ගේ ය. මාංසයට අනුව ක්‍රිස්තුස්වහන්සේ ද ඔවුන්ගේ පෙළපතින් ය. සියල්ලට ම උතුම් වූ දෙවියන්වහන්සේ වන උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය! ආමෙන්.
එහෙත් දෙවියන්වහන්සේගේ වචනය අසමත් වූවා සේ පෙනෙනවා නො වේ; මන්ද ඉශ්‍රායෙල් වෙතින් පැවත එන සියල්ලන් ඉශ්‍රායෙල් නො වේ. ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන නිසා ම ඒ සියල්ලෝ ඔහුගේ දරුවන් නො වෙති. එහෙත්, “ඔබගේ වංශය නම් කෙරෙන්නේ ඊසාක් මගිනි.” මෙහි අදහස, දෙවියන්වහන්සේගේ දරුවන් වන්නේ මාංසයේ දරුවන් නො වන බවත්, වංශය වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුවේ දරුවන් බවත් ය. මන්ද පොරොන්දුවේ කියැවෙන්නේ මෙයයි: “ලබන වසරේ මේ කාලයට මම යළි එන්නෙමි. එකල සාරා පුතකු ලබනු ඇත” කියා ය.
එපමණක් නො වේ; රෙබෙකා, එක මිනිසකු මගින්, අප ආදි පිය ඊසාක් මගින් දරුවන් පිළිසිඳ ගත් කල, ඔවුන් උපදින්නටත් පෙර, ඔවුන් හොඳක් හෝ නරකක් හෝ කරන්නට පෙර, දෙවියන්වහන්සේගේ තෝරාගැන්මේ තීරණය රඳා පවත්නේ, උන්වහන්සේගේ කැඳවීම අනුව මිස, ක්‍රියා මත නො වන වග තහවුරු වන පිණිස, “වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇතැ” යි ඇයට පවසන ලද්දේ, “මම යාකොබ්ට ප්‍රේම කළෙමි; එහෙත් ඒසව්ට ද්වේෂ කළෙමි” යි ලියා ඇති පරිදි ය.
එසේ නම් අපි කුමක් කියමු ද? දෙවියන්වහන්සේ අසාධාරණ යැයි කිව හැකි ද? සත්තකින් ම නැත! මන්ද උන්වහන්සේ මෝසෙස්ට කියන්නේ,
“දයාව දක්වන්නට මා කැමති කෙනාට, මම දයා වන්නෙමි;
අනුකම්පා කරන්නට මා කැමති කෙනාට, මම අනුකම්පා කරන්නෙමි” කියා ය.
එබැවින්, එය රඳා පවත්නේ මිනිසාගේ කැමැත්ත හෝ ප්‍රයත්න හෝ මත නො ව, දයාව දක්වන්නා වූ දෙවියන්වහන්සේ මත ය. මන්ද ශුද්ධ ලියවිල්ල පාරාවෝට පවසන්නේ, “මා නුඹ නැගිට වූයේ, මේ අරමුණ උදෙසා ම ය; එනම්, නුඹ තුළින් මගේ බලය පෙන්වා, පොළොව මුළුල්ලේ මගේ නාමය ප්‍රකාශ වන පිණිස ය” කියා ය. මෙසේ, උන්වහන්සේ දයාවන්නට කැමති තැනැත්තාට, උන්වහන්සේ දයාව පානා සේක; උන්වහන්සේ දැඩි කරන්නට කැමති තැනැත්තා, දැඩි කරන සේක.