රෝම 8:19-25

රෝම 8:19-25 SCV

මන්ද දෙවියන්වහන්සේගේ පුත්‍රයින් එළිදරවු කිරීම දෙස, සමස්ත මැවිල්ල ම අපේක්ෂා සහගත ව ආශාවෙන් බලා සිටී. මන්ද මැවිල්ල නිෂ්ඵල භාවයට ඇද දමනු ලැබ ඇත්තේ, එහි කැමැත්තෙන් නො ව, එය බලාපොරොත්තුවෙන් යටත් කළ තැනැත්තාණන් නිසා ය. එනම්, මැවිල්ල ජරාපත් වීමේ වහල් බැම්මෙන් මුදනු ලැබ, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ තේජවත් නිදහස අත්කර දීමට ය. මන්ද මුළු මහත් මැවිල්ල ම එක් ව මේ දක්වාත් ප්‍රසව වේදනාවෙන් කෙඳිරි ගානා බව අපි දනිමු. එපමණකුදු නො ව ආත්මයාණන්ගේ ප්‍රථම පල ලැබූ අපත්, අපගේ ශාරීරික මිදීම වන පුත්‍රකමට පිළිගැනීම පුල පුලා බලා හිඳිමින්, ඇතුළු හදින් කෙඳිරි ගාන්නෙමු. මන්ද අප ගලවනු ලැබ ඇත්තේ මෙම බලාපොරොත්තුවෙනි. දකින්නට තිබෙන බලාපොරොත්තුව, බලාපොරොත්තුවක් නො වේ. මන්ද තමන්ට පෙනෙන දේ ගැන බලාපොරොත්තු ඇතිකර ගන්නේ කවුරු ද? එහෙත් අපට නො පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ නම්, ඒ ගැන ඉවසිල්ලෙන් බලා හිඳිමු.

රෝම 8 කියවන්න